වික්‍රම රජු සහ වේතාල දෙවන කොටස           කලාපය 1 පිටුව 25

හඳුන්වාදීම – 2 වන කොටස

ඊළඟ දිනයේ රජු නැවත නගරයට පැමිණ ඇති පුවත නගරය පුරා පැතිර ගියා.බාල,මහලු,දුප්පත් පොහොසත් සියල්ලන් ම රජු දැක බලා ගැනීමට පොරකමින් මාලිගය වෙත රැස්වුණා.මියුරු සංගීත නාදයෙන්,කෙළි සෙල්ලම්වලින්,නර්තනයන්ගෙන් හා සරදම්වලින් පිරී මුළු නගරය ම සතුටින් පිරී ඉතිරී ගියා.

දින කිහිපයකට පසු ශාන්තසීල නමින් හැඳින්වුණු තාපසයකු රජ මාලිගය වෙත පැමිණ රජුගේ අතේ ඇපල් ගෙඩියක් තබා,මඳ වේලාවක් මාලිගයේ අසුන් ගෙන හිඳ කිසිදු කතා බහක් නොකර මිනත්තු කිහිපයකට පසු පිටත් ව ගියා.ඔහු පිටත්ව ගිය පසු තමා මරා දමන්නට අදහස් කරගෙන සිටින සතුරු තාපසයා මොහු විය යුතු බව රජු අනුමාන කළා.එබැවින් එම ඇපල් ගෙඩිය අනුභව නොකළ රජු තම සේවකයකු අතට එය ලබා දී පරෙස්සම් සහිතව තබන ලෙස නියෝග කළා.ඊළඟ දිනයේ ද එම තාපසයා නැවත පැමිණ තවත් ඇපල් ගෙඩියක් රජුගේ අතේ තබා කිසිත් නොදොඩා යන්නට ගියා.මෙසේ ඔහු සති කිහිපයක් ම ඇපල් ගෙඩිය බැගින් දිනපතා රැගෙන ආවා.මේ අතරතුර දිනක් රජු සිය පිරිවර සමඟ අවි ගබඩාවට ගොස් සිටින මොහොතක එදින ද ඔහු වෙත පැමිණි තාපසයා ඔහුට ඇපලයක් තෑගි කළා.එහෙත් කුමක්දෝ හේතුවක් නිසා එය බිම වැටුණා.ඒ මොහොතේ කොහේදෝ සිට පැන ආ වඳුරෙක් එම ඇපලය ඩැහැගෙන එය දෙකට පැළුවා.පුදුමයකට මෙන් එම ඇපලය විවෘත වත් ම ඇස් අදහාගත නොහැකි තරමේ දීප්තියකින් යුත් පද්මරාග මාණික්‍යයක් එතුළින් බිමට වැටුණා.

 මිල කළ නොහැකි මෙතරම් වටිනා මැණිකක් තමන් වෙත දුන්නේ ඇයි දැයි මෙවිට රජතුමා තාපසයාගෙන් විමසා සිටියා.

“රජතුමනි, පූජනීය ග්‍රන්ථවල සඳහන් කර තිබෙනවා රජකු, පූජකයකු හෝ දෙවියකු හමුවට හිස් අතින් කිසිවෙකු නොයා යුතු බව මන්ද ඔවුන් වෙත තෑගි දීමෙන් පෙරළා තමන්ට ද ත්‍යාග හිමි වන නිසා.රජතුමනි ඔබ එක් මැණිකක් පිළිබඳ කතා කළත් මා ඔබ වෙත දුන් සෑම ඇපලයක ම මෙවැනි ම පද්මරාගයක් ඇතුළත් කර තිබුණා.”

තවුසා පිළිතුරු දුන්නා.මෙවදන් ඇසූ රජු වහා ම තමන් පරෙස්සමෙන් තබන්නැයි නියෝග කළ සියලු ඇපල් රැගෙන එන ලෙස රාජපුරුෂයකුට අණ කළා.එම ඇපල් සියල්ල දෙකට පළා බැලූ විට ඒ හැම එකක ම වටිනා පද්මරාග මැණික බැගින් තිබී හමුවුණා.ඉන් පසු ඒවා පරීක්ෂා කර බැලීම සඳහා මැණික් වෙළෙන්දෙකු ගෙන්වූවා.

“මැණික්කරුවාණනි,මෙලොව ඇති වටිනා ම දෙය සත්‍යයයි.එම නිසා මට මේ මැණික්වල සත්‍ය වටිනාකම පවසනු මැනවි.”

ඒවා පරෙස්සමෙන් පිරික්සා බැලූ මැණික්කරුවා “ඔබ පවසන දෙය සාධාරණයි රජතුමනි,සත්‍යය ඇත්තේ කොහි ද එතැන සියලු ගුණයහපත්කම් හමුවෙයි.මෙලොව වසන මනුෂ්‍යයන්ටත් වෙනත් ලෝකවල වසන අයටත් සත්‍යය සැමදා සේවය කරනු ඇති.රජතුමනි,මෙම මැණික් සියල්ල වර්ණයෙන්,ප්‍රමාණයෙන් හා දීප්තියෙන් එක සමානයි.ඒවා එක්ව ගත් කල වටිනාකම අපමණයි.ඒත් එකක් ගත්තතොත් එකක මිල රුපියල් ලක්ෂයකට වඩා වටිනවා රජතුමනි.”

රජු ඉතා සතුටට හා පැහැදීමට පත් වුණා.වටිනා තෑගි භෝග දී මැණික්කරුවා පිටත් කර හැරියා.ඉන් පසු රජු තවුසා දෙසට හැරී තවුසාගේ අතින් අල්ලාගෙන ඔහු රාජාසනය මත හිඳවූවා.”තාපස රජුනි,ඔබගේ ත්‍යාගයේ වටිනාකම මගේ රාජ්‍යයේ ඇති සියලු ධනයට හැම අතින් ම සමානයි.මෙවන් වටිනා ත්‍යාගයක් මා වෙත පිරිනැමීමෙන් ඔබ කුමක් බලාපොරොත්තු වන්නේ දැයි පවසන ලෙස අයැද සිටිනවා තාපසතුමනි.”

රජතුමනි,අනාගත සැලසුම්,පවුල් ආරවුල්,මුදල් ප්‍රශ්න,මන්ත්‍ර ශාස්ත්‍ර,ආදර සම්බන්ධතා,ඖෂධ,ත්‍යාග සහ මිනිසකුගේ ගෞරවය හෝ අගෞරවය පිළිබඳ කිසිදා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතුයි.ඔබ මගෙන් විමසන දෙය ඔබගේ ගෙදර දොර වැසියන් ඉදිරියේ පැවසිය නොහැකියි.කන් හයකට ඇසෙන දෙය රහසක් නොවන බව පැවසෙනවා.එය කන් හතරකට ඇසුණොත් පමණයි රහසක් වන්නේ.කන් දෙකකට පමණක් ඇසුණොත් දෙවියන්ටවත් එය අනුමාන කළ නොහැකියි.
ඉන් පසු රජු  තවුසා පසෙකට කැඳවා ඔහුට කැමති ආකාරයකට තමන් පරීක්ෂා කර බලන ලෙස පවසා සිටියා.

“රජතුමනි,ගෝදාවරී නදී ඉවුරේ විශාල සොහොන් පිටියක් තිබෙනවා.එහි දී මගේ යාගය සම්පූර්ණ කර අෂ්ට මායා බලයන්හි ප්‍රමුඛයා වන්නට බලාපොරොත්තු වෙනවා.ඒ නිසා එහි රාත්‍රියයක් ගත කරන්නට මට වීර පුරුෂයකුගේ උදවු වුවමනා වෙනවා.මේ ලොව ඔබට වඩා  වීර පුරුෂයකු නැහැ රජතුමනි. ඔබ මට උදවු කළ හොත් මගේ අරමුණ මුදුන්පත් කර ගත හැකියි රජතුමනි.”තවුසා පවසා සිටියා.(අෂ්ට මායා බල 1.අනිම-කෙනෙකු අදෟෂ්‍යමාන කිරීම 2.මහිම-කෙනෙකු අපරිමිත ලෙස විශාල කිරීම 3.ගරිම-කෙනෙකු අපරිමිත ලෙස බරින් වැඩි කිරීම 4.ලඝීම-කෙනෙකු අපරිමිත ලෙස කුඩා සහ සැහැල්ලු කිරිම 5.ප්‍රපටි-සියල්ල ලබා ගැනීමේ බලය 6.ප්‍රකම්ය-කිසිවෙකුට වැළැක්විය නොහැකි තමන් සිතුවක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව 7.ඉෂිත්ව-විශ්වයේ ප්‍රධානියා වීම 8.වාෂිත්ව-අනෙක් සියලු දෙනා යටත් අය ලෙස තබා ගැනිමේ බලය)

“සත්තකින් ම,ඔබ කැමති ඕනෑ ම රාත්‍රියයක්.”රජු පවසා සිටියා.

බද්‍රපාදයේ(නර්මදාවෙන් දකුණු කොටසේ අගෝස්තු-සැප්තැම්බර් අතර කාලය)අවපස දහහතර වන දිනය තෝරාගත් තවුසා එදින සන්ධ්‍යාවේ තමන්ට ආරක්ෂාව සපයන ලෙස රජුට පවසා සිටියා.ඉන් පසු තවුසා සිය ආශ්‍රමයටත් එතැනින් තමන් සූදානම් කළ භූමියටත් ගියා.

නියමිත දිනය එළඹුණා.රජු සිය කඩුව සහ සිරිය(කිරිච්චිය-අනින කඩුව)ඉණෙහි රුවාගෙන තනිවම තවුසා හමුවීම සඳහා පිටත් වුණා.තවුසාට ආචාර කළ රජතුමා “තාපස රජුනි,මම ඔබේ සේවය සඳහා පැමිණියෙමි.”යි පැවසුවා.

“රජුනි,අසුන්ගන්න.”රජු තවුසා කී පරිදි අසුන්ගෙන වටපිට බලන්නට වුණා.විවිධ ප්‍රමාණවලින් සහ හැඩයෙන් යුතු හොල්මන්,අවතාර සහ පිසාචයන් රජුට දකින්නට ලැබුණා.ඉතා භයංකර සංගීත නාදයක් වයමින් සිටි තවුසා වටා ඔවුන්  වළල්ලක් ආකාරයට සැදී නටමින් සිටියා.

එහෙත් රජුට කිසි බියක් දැනුණේ නැහැ.ඔහු තවුසාගෙන් විමසා සිටියා කුමක් කළ යුතු ද කියා.

“මේ සොහොන් බිමේ සිට දකුණු පැත්තට සැතපුම් හතරකට එහායින් තවත් සොහොන් බිමක් තිබෙනවා.ඔබට එහි දී ගසක එල්ලී සිටින මළ සිරුරක් හමු වේවි.ඒ මළ සිරුර මා වෙත ගෙන එන්න.”තාපසයා පැවසුවා.රජු ගමන් ආරම්භ කළා.

එය භයංකාර අඳුරු රාත්‍රියයක්.ඒ අතරේ තද වර්ෂාවක් ද ඇදහැළෙමින් තිබුණා.ඔහුට හතරවටෙන් ම අහන්නට ලැබුණේ මළකඳවල් සහ හොල්මන් එකිනෙකාට කොඳුරන සහ නන්දොඩවන හඬවල්. ඒත් ඔහු නිර්භීතව දුර අඩි තබමින් ගමන් කළා.සර්පයන් ඔහුගේ දෙපා වෙළාගත්ත ද තමන් උගත් මන්ත්‍රයන් ජප කරමින්  දෂ්ට කරන්නට පෙර උන් පළවා හරින්නට රජු සමත් වුණා.අවසානයේ දී රජු අනෙක් සොහොන්බිම වෙත ළඟා වුණා.සොහොන් බිම වෙත ගෙනැවිත් දැමූ මිනිසුන් ගිල දමන පිසාචයන් ද මියගිය කුඩා දරුවන්ගේ හදවත් කැබලිවලට ඉරා ආහාරයට ගන්නා මායාකාරියන් ද රජුට දක්නට ලැබුණා.දරුණු කොටින් නැඟී සිට වලිග කරකවමින් සිටියා.වන අලි අසිහියෙන් මෙන් එහාට මෙහාට වැනි වැනී සිටියා.මුළු පරිසරයම ශබ්දවලින් සහ හීතියෙන් පිරී තිබුණා.

සොහොන් බිම තුළ ගිනිගෙන දැවෙන සේ පෙනුණ ගසක් රජුගේ නෙත ගැටුණා.ඒ රජුට ඒ වටා මෙසේ කෑ ගසන හඬක් ඇසෙන්නට වුණා.

“ඔහු මරා දමපන්.ඔහු අල්ලා ගනින්.ඔහු ආහාරයට ගනින්,ඔහූ ඉරා දමපන්,බලාගෙන ඔහුව නවත්තපන්.”

අමරණීයයා පැවසූ කුඹල්කරු ඔහුට හමුවූ තාපසයා බව  අනුමාන කර තිබූ නිසා රජුට බියක් දැනුණේ නම් නැහැ.නිර්භීත ව ගස ළඟට ගිය රජුට දකින්නට ලැබුණා ගසේ අත්තක කඹයකින් එල්ලී පැද්දෙමින් තිබූ මළ සිරුර.ඔහු ගසට නැඟ කඩුව අතට ගෙන දේහය බිම වැටෙන ලෙස කඹය කපා දැම්මා.මළ සිරුර බිම වැටෙනවාත් සමඟ ම එය නැවතත් කෑ ගසන්නට පටන් ගත්තා.”ඔහු මරපන්,ඔහු මරපන්”

මේ හඬ ඇසෙනවාත් සමඟ රජු පරීක්ෂාකාරී වුඛා දේහයට තවමත් පණ තිබේ දැයි බලන්නට.ඔහු ගසින් බැස ගොස් දේහයෙන් විමසුවා ඔහු කවුද කියා.මහ භයංකර සිනහවක් නැඟූ දේහය නැවතත් පොළොවෙන් නැඟී සිට ගසෙහි එල්ලී සිටින්නට වුණා.විස්මයට පත් රජු නැවතත් ගසට නැඟ දේහය කිහිල්ලේ රුවා ගෙන බිමට ගෙන එන්නට උත්සාහ කළා.”දුෂ්ට කාලකන්නියා”රජු කෑගැසුවා.”මට කියාපන් උඹ කවුද කියා .නැත්තම් එය උඹට නරකට සිටීවි.”

නමුත් මළ සිරුර කතා කළේ නැහැ.එවිට රජු අනුමාන කළා මේ තවුසා විසින් මරා දමා සොහොන් බිමට ගෙනෙන ලද තෙල්කරුවාගේ පුත්‍රයා විය යුතු බවත් ඔහුගේ දේහයට අරක්ගෙන සිටින වේතාලයකු(හින්දු සංස්කෘතිය අනුව මළ සිරුරුවලට අරක් ගන්නා හොල්මනකි.)විසින් එම සිරුර මෙහෙයවන බවත්.සිය සළුවෙන් මළ සිරුර ඔතා ගත් රජු එය තම කර මත රුවා ගෙන තාපසයා වෙත රැගෙන යෑමට ගමන් ආරම්භ කළා.අපි මෙතැන් පටන් මළ සිරුර වේතාලයා කියා හඳුන්වමු.

වීර මිනිසුන් ජයගෙන කීර්තීය දිනාගනු ඇතැයි කියනු ලැබේ.ඉදින් මේ අවස්ථාවේ දී වේතාලයා  කතා කරන්නට පටන් ගත්තා.රජු කවුරුන් ද මළ සිරුර කොහේ රැගෙන යන්නේ දැයි වේතාලයා රජුගෙන් විමසා සිටියා.රජු සියල්ල විස්තර කළා.මෙවිට වේතාලයා මෙසේ පැවසුවා.”ඔබ මගේ අණට කීකරු වුවහොත් මම ඔබ සමඟ යන්නට එනවා.ඔබ යන අතරමඟ දී වචනයක් හෝ කතා කළහොත් මා නැවත සොහොන් බිමට යනවා.”රජු එයට එකඟතාව පළ කළා.

“රජතුමනි,නුවණැත්තන් වටිනා කාලය ප්‍රයෝජනවත් ලෙස යොදාගෙන සතුටින් ජීවත් වෙනවා.අඥානයන් නොනැවතී නිදමින් තම කාලය කා දමනවා.ඔබගේ මහන්සිය ද නිවා ගනු පිණිස මා කතන්දරයක් කියන්නම්.එයට හොඳින් ඇහුම්කන් දෙනු මැනවි.” යි පැවසූ වේතාලයා කතාව ආරම්භ කළා.

අනුන්ගේ බසට රැවටී දියණිය මරා දැමූ රජු පිළිබඳ කතාව -වජ්‍රමුකුද් සහ පද්මාවතී ..මීළඟ කොටසින් කියවමු..

Advertisements

වික්‍රම රජු සහ වේතාල කලාපය 1 පිටුව 24

​හැඳින්වීම

ඉන්දියාවේ විසූ සෝමදේව නම් පඬිවරයකු විසින් 11 වන සියවසයේ දී පමණ රචනා කරන ලද “කතා සරිත් සාගර”නම් ග්‍රනථයක් වෙයි.භාරතය පුරා විසිර පැවති ජනප්‍රවාද ජනකතා එකතු කොට සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද මෙහි 12 වන කොටසේ “වේතාල පංචවිම්සති”(වේතාලගේ කතා විසිපහ) යනුවෙන් කතන්දර මාලාවක් හමුවෙයි.වික්‍රමාදිත්‍ය නම් රජෙකු සහ වේතාල නම් අවතාරයක් කේන්ද්‍ර කොට ගනිමින් වේතාල විසින් රජුට පවසන ප්‍රහේලිකාමය කතා විසිපහක් මෙහි අඩංගු වේ.

ඉතා රසවත් මෙම කතන්දර මාලාව පසුකලෙක හින්දි,මරාති,ඉංග්‍රීසි,දෙමළ ආදි භාෂා රැසකින් ලියැවී ඇත.එසේ ම ටෙලි නාට්‍ය හා චිත්‍රපට වශයෙන් ද ජනතාව හමුවට පැමිණ ඇත.මෑත කාලයේ එහි හින්දි කෘතියේ සිංහල පරිවර්තනයක් ද නිකුත් වී ඇති බව අන්තර්ජාලයේ සටහන් වේ.

සකු බසින් මෙම කෘතිය ඉංගිරිසියට පරිවර්තනය කළේ ශ්‍රීමත් රිචඩ් බර්ටන් නම් ලේඛකයා විසිනි.ඔහුගේ කෘතියේ දක්නට ලැබෙන්නේ කතා එකොළහක් පමණි.කෙසේ වුවද ඒ.ඩී.සදෂිව් චත්රේ නම් ලේඛකයකු විසින් මරාති බසින් රචනා කරන ලද කෘතිය ඉන්දීය සිවිල් සේවයේ ප්‍රවීණයකු වන සී.ඒ.කින්සේඩ් C.A.Kincaid නම් මහතකු විසින් ඉංග්‍රීසි බසට පරිවරතනය කර ඇති අතර එය කතා විසිපහෙන්ම සමන්විත වේ.

සිංහල පාඨකයාට වේතාල කතා කියැවීමට ලැබෙන්නේ ඉන්දීය “චන්දමාමා” සඟරාව ලලිත් ඇතුලත්මුදලි මහතා අධ්‍යාපන ඇමතිධුරය දරන කාලයේ දී සිංහලෙන් ද පළ කිරීමට පටන්ගෙන තිබෙන සමයේ දී ය.සංස්කාරකට එම කතා හමුවන්නේ ඉන්දීය chandamama සඟරාවේ ඉංග්‍රීසි පරිවර්තනවලිනි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ද , ලේඛකයකු ද ,ග්‍රන්ථ ප්‍රකාශකයකු ද වන ගාමිණී අල්විස් මහතා සමඟ කතා බහක යෙදෙද් දී වේතාල කතා පරිවර්තනය කර දුනහොත් මුද්‍රණය කරන්නේ යැයි මා හා පැවසූ බැවින් මා තුළ ඒ පිළිබඳ දැඩි උනන්දුවක් ඇතිවිය.ඉන් අනතුරුව චන්දමාමා සඟරා පිරික්සා බැලීමේ දී එහි කතා විසිපහක් නොව කතා  සියයකට අධික සංඛ්‍යාවක් පළ වී ඇති බව දක්නට ලැබිණි.පසුව මරාති බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද කෘතිය හා සැසඳීමේ දී පළමුව එම කතා විසිපහ පරිවර්තනය කර ඉන් අනතුරුව චන්දමාමා සඟරාවේ කතා තෝරාගත යුතු බව මට හැඟී ගියේ ය.

කෙසේ වෙතත් අදින් වසරකට පමණ පෙර අරඹන්නට උත්සාහ කළ එම කටයුත්ත අතරමග නවතා දමන්නට සිදු වුණත් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කළ පසු මෙම කතා මාලාව සිංහල පාඨකයා වෙත ගෙන යා යුතු බව මම තීරණය කළෙමි.

ඒ අනුව අද සිට කොටස් වශයෙන් වික්‍රම රජු හා වේතාලගේ කතා අනුවර්තනයක් ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එමි.

-සංස්කාරක

වික්‍රම රජුගේ කතා 

හඳුන්වාදීම

එකමත් එක කලෙක ඉන්දියාවේ ධර්මනගර් නමින් නගරයක් තිබුණා.එම නගරය පාලනය කළේ ගාන්ධර්වාසන් නම් රජ කෙනෙකු විසින්.මෙම රජුට බිසෝවරුන් හතර දෙනෙකු සිටි අතර ඔවුනට දාව පුත්‍රයන් හයදෙනෙකු සිටියා.මේ පුත්‍රයන් හය දෙනා එකිනෙකා පරයන ප්‍රඥාවන්ත බවකින් හා වීර්යසම්පන්න බවකින් යුක්ත වුණා.ගාන්ධර්වාසන් රජු මියගිය පසු රජකම උරුම වුණේ රජුගේ වැඩිමල් පුත්‍රයාට.නමුත් වැඩිකල් නොගොස් ඔහු නරක වැඩවලට පෙළඹුණා.එබැවින් ඔහුගේ බාල සොයුරු වන වික්‍රමාදිත්‍ය විසින් ඔහු බලයෙන් පහ කරනු ලැබ ඉතා ඥානාන්විතව හා ධාර්මික ලෙස රාජ්‍ය පාලනය ආරම්භ කළා.ඔහුගේ පාලනය යටතේ දිනෙන් දින රාජ්‍යයේ වපසරිය පුළුල් වූ අතර අවසානයේ මුළු මහත් ඉන්දියාව ම වාගේ ඔහුගේ පාලනයට නතුවුණා.මේ අතර සිය පාලනය යටතේ පවතින ප්‍රදේශ සියැසින් දැක ගැනීමේ අරුම පුදුම ආශාවක් වික්‍රමාදිත්‍ය රජුගේ සිත්හි පහළ වුණා.

එම අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔහු සිය බාල සොහොයුරු  බාරත්‍රිහාරි යුවරජ තනතුරේ පිහිටුවනු ලැබුවා.ඉන් අනතුරුව තාපසයෙකු සේ වෙස් වලාගත් හෙතෙම වනයෙන් වනයට,ගමෙන් ගමට සිය චාරිකාව ආරම්භ කළා. ධර්මනගර්හි පාලකයා ලෙස බාරත්‍රිහාරි කුමාරයා කටයුතු කරන මේ සමයේ පාර්වතී දේවිය උදෙසා ඉදිකරන ලද කෝවිලක යෝගී දම් පුරන බ්‍රාහ්මනයකු මෙම නගරයේ වාසය කළා.ඔහුගේ භක්තිය පිළිබඳ ප්‍රසාදයට පත්ව සිටි පාර්වතී දේවිය දිනක් ඔහු වෙත අමරණීයත්වය ලබාදෙන පලයක් ප්‍රදානය කළා.මෙම බමුණා එය ඔහුගේ බිරිඳට ලබා දුන්නා.

“සොඳුර මෙම පලය අනුභව කරන්නා ඉන් අමරණීයත්වයට පත් වනු ඇත.”

එහෙත් බැමිණිය එය ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසුවා.

“අමරණීයත්වය දරුණු පාපයකට ලබාදෙන දඬුවමක් වැනි ය.එය අප වැනි අයට කිසිසේත් යහපත් නොවනු ඇත.අප අමරණීයත්වයට පත් වුවහොත් අපට සදාකල්හිම ආහාර යදිමින් ජීවත්වන්නට සිදුවේවි.මියයෑම ඊට වඩා යහපති ස්වාමීනී.”

“ඔබේ වදන් මගේ මනස ව්‍යාකූල කළා සොඳුර.මම මෙය ගෙන ආවේ අනුභව කරන අදහසින්.එහෙත් දැන් ඊට කුමක් කළ යුතු ද කියා ඔබ ම පවසනු මැනවි,මම එය කරමි.”යි බමුණා පැවසුවා.

“මෙම පලය රජු වෙත රැගෙන යන්න.එහි වටිනාකමට සමාන වස්තුවක් රජුගෙන් ඉල්ලාගන්න.එවිට අපට අඟහිඟකම්වලින් තොරව ධර්මානුකූලව ජීවිතය ගත කළ හැකි වේවි.”

බැමිණියගේ උපදෙස් අනුව බමුණා අමරණීයත්වයේ පලය රැගෙන බාරත්‍රිහාරි රජුවෙත පැමිණියා.බ‍මුණාගේ පලය පිළිගත් රජතුමා ඔහුට රුපියල් සියක්දහසක් ලබා දී ඔහු පිටත් කර හැරියා.අනතුරුව මාලිගය තුළට පිවිසි රජතුමා ඔහුගේ වඩාත් සිත්ගත් බිසවගේ අතට එම පලය දුන්නා.

“ආදරිය මෙම පලය අනුභව කරන්න.ඔබ සදාකල් ජීවත් වනු ඇත.මේ ආකාරයෙන් ඔබ සදාකල් තරුණ ලෙසින් ජීවත් වේවි.”

රජකුමාරිය මෙම පලය පිළිගත්තද එය අනුභව කළේ නැහැ.ඒ වෙනුවට ඇය කළේ ඇය සිය ජීවිතයටත් වඩා කැමැත්ත දක්වන පුරුෂයකු වෙත ප්‍රදානය කිරීමයි.එම පුරුෂයා ද එය අනුභව නොකොට ඔහුගේ සිත්ගත් නාටිකාංගනාවක වෙත ප්‍රදානය කළා ය.නාටිකාංගනාව ද මෙම පලය සතුටින් පිළිගත්ත ද බමුණා කළා සේ ම රජ වෙත අලෙවි කරනු වස් රැගෙන ගියා.ඇය වෙත විශාල මුදලක් පිරිනැමූ බාරත්‍රිහාරි රජු ඇය පිටත් කර හැරියා.ඉන් පසු හෙතෙම ඉතා ශෝකයට පත්ව හඬන්නට වුණා.

“අහෝ!ලොව මෙතරම් ව්‍යසනයක් කොහි ද?මගේ ජීවිතයට වඩා නිරය සැපවත් .දෙවියන් වැඳීම හා තවුස්දම් පිරීම හැර සතුටු විය හැකි මඟක් නැත.”යැයි කියමින් හෙතෙම මාලිගයට පිවිස තමන් ලබාදුන් පලයට කුමක් කළේ දැයි බිසවගෙන් විමසා සිටියා.

“මම එය අනුභව කළා ස්වාමීනි.”

බිසව මෙම වදන් පවසනවාත් සමගම රජු අමරණීයත්වයේ පලය ඇයට පෙන්වූවා.ඒ දුටු කල ඇය මහත් බියට පත්ව නිරුත්තර වූවා.රජතුමා මොහොතක්වත් මාලිගයේ රැඳී සිටියේ නැහැ.කලකිරීමට පත් ඔහු අමරණීයත්වයේ පලය තමා ම අනුභව කර තවුසකු සේ හැඳ පැලඳ නගරය අතහැර වනයට වැදුණා.

යුවරජ බාරත්‍රිහාරි නගරය හැරගිය පුවත දැනගත් ඉන්ද්‍ර දෙවියෝ ධර්මනගර් ආරක්ෂා කරනු පිණිස ඔහුගේ පිරිවර අතරින් එක් අමරණීයයකු නගරය වෙත පිටත් කර එව්වා.දිවා රෑ දෙකේම මේ අමරණීයයා නගර පවුරු පිටත එහා මෙහා යමින් නගරය ආරක්ෂා කළා. ඉන්දියාව පුරාම මෙම පුවත පැතිර ගිය අතර වික්‍රමාදිත්‍ය‍ රජුට ද එය සැලවුණා.ඔහු එසැණින් ම ධර්මනගර් කරා පිටත්වුණා.ඔහු නගරය කරා ළඟා වන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණා.ප්‍රධාන ද්වාරය අසල දී එහි මුරකරමින් සිටි අමරණීයයා වික්‍රමාදිත්‍ය රජු කවුදැයි නොදැන ඔහුට අභියෝග කළා.

“ඔබ කවුද?කොහේ ද යන්නේ?”

“වික්‍රමාදිත්‍ය රජු මමයි.මම නැවත මගේ නගරයටයි යමින් සිටින්නේ.ඔබ කවුද?ඇයි ඔබ මා නතර කරන්නේ?”

ඉන්ද්‍ර දෙවියන් විසින් තමන් මෙහි එවන ලද බව ඔහු රජුට විස්තර කළා.එසේ ම “ඔබ සත්‍ය වශයෙන් ම වික්‍රමාදිත්‍ය රජු නම් මා සමඟ ද්වන්ධ සටනකට ආ යුතු යි “කියා අභියෝග කළා.

ඉන් අනතුරුව රජු හා අමරණීයයා එකිනෙකා සමඟ පොරබදන්නට වුණා.අතිබිහිසුණු සටනකින් පසු සිය ප්‍රතිමල්ලවයා පරාජය කළ වික්‍රමාදිත්‍ය රජු ඔහු බිම දමා ළය මත පාදයක් තබා සිටගත්තා.එවිට අමරණීයයා “රජතුමනි, ඔබ මා පරාජය කළේ ය.එහෙයින් මම ඔබට අභයදානය දෙමි.”යි පැවසුවා.එවිට රජු මහහඬින් සිනහසෙමින් මෙසේ පැවසුවා.

“මට හිතෙන්නේ ඔබ මහ අඥානයෙක් බවයි.පරාජය වී සිටින ඔබ කොහොම ද මට අභයදානය දීමක් ගැන පවසන්නේ?”

“මට ඔබ මරණයෙන් ගලවා ගන්නට හැකියි”අමරණීයයා නැවතත් පැවසුවා.”මට සවන් දෙන්න.මම ඔබ මුළු ධරණි තලයේම අධිරාජ්‍යයා බවට පත් කරන්නම්.”

මෙවදන් ඇසීමත් සමග සිය ග්‍රහණයෙන් අමරණීයයා මුදා හළ  රජතුමා ඔහුගේ කතාවට සාවදානව සවන් දීමට සූදානම් වුණා.අමරණීයයා සිය කතාව ආරම්භ කළා.

“රජතුමනි එකමත් එක කලෙක මෙම නගරයේ චන්ද්‍රභානු නම් රජකෙනෙකු රාජ්‍ය කළා.ඔහු දිනක් වනයේ සැරිසරන  අතරතුර ගිනිමැලයකට ඉහළින් හිස පහතට හරවාගෙන ගසක එල්ලී උග්‍ර තවුස්දම් පුරන තාපසයකු දුටුවා.ඊට පසු දින ඔහු විහිළුවට මෙන් සිය පිරිවරට මෙසේ පැවසුවා.”අර තාපසයා නැවත ලෞකික ජීවිතයකට හරවන අයෙකුට මම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කරනවා.”එවිට නාටිකාංගනාවක රජු ඉදිරියට පැමිණියා.”රජතුමනි, ඔබ අවසර දෙනවා නම් මම එම තවුසා යළි ලෞකික දිවියට ගෙන එන්නෙමි.මම ඔහුට දාව දරුවෙකු උපද්දවාගෙන ඔහුගේ උරහිස් මත එම දරුවා මෙහි ගෙන එන්නෙමි.”යැයි ඇය පවසා සිටියා.රජු ඒ සඳහා බුලත් විඩක් ප්‍රදානය කර ඇයට අවසර ලබා දුන්නා.(මෙසේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්නන්ට රජු විසින් විඩ ප්‍රදානය කරන බවත් ඔහු එය පිළිගත යුතු බවත් ග්‍රන්ථයේ සඳහන් වේ.ඒ අනුව බුලත් විඩ යන වචනය මරාති බසින් ලියන ලද මුල් කෘතියේ සඳහන් වන්නට ඇත.vida)

තාපසයා එල්ලී සිටින ස්ථානය සොයා නාටිකාංගනාව ගමන් කළා.කිසිවක් ආහාරයට ගැනීමෙන් වැළකී සිටි මෙම තාපසයාගේ සිරුර කෙසඟව අස්ථි පෑදී සම පමණක් ඉතිරිව තිබුණා.නාටිංකාගනාව තවුසා අසලට පැමිණ ඔහුගේ දෙතොල් අසලට පැණි රස අහර ළං කළා.තාපසයාට එම ආහාර පිළිබඳ ආශාවක් ඇති වී ඒවා අනුභව කළා.මේ දුටු ඇය තව තවත් රසවත් ආහාර තවුසා වෙත ළං කළා.මේ අයුරින් දින දෙකක් පුරා ඇය තවුසාට ආහාර ලබා දුන්නා.එහි ප්‍රතිඵලයක් ලෙස තවුසාගේ සිරුර ශක්තිමත් වු අතර ගසෙන් බිමට බැසගත් තවුසා ඇය කවුද කොහේ සිට ආවාදැයි තොරතුරු විචාළා.

“මම දේව දියණියක්.දෙව්ලොවෙහි දී මම ලුහු පිළිවෙත් (අත්ථකිලමතානුයෝගය) පුරමින් සිටියා.මම දැන් පෘථිවියට පැමිණියේ මෙහි තවුස් දම් පුරන්නයි.”

ඇය වසන්නේ කොහි දැයි තවුසා විමසා සිටියා.තවුසා හමුවීමට පෙර නාටිකාංගනාව විසින් ඒ අසල ඉදිකළ කුටියක් ඇය තවුසාට පෙන්වා සිටියා.තවුසා එහි කැඳවාගෙන ගිය ඇය තවුසා සඳහා රසමසවුළු වර්ග හයකින් යුතු ආහාර වේලක් පිළියෙළ කළා.ඒවා අහාරයට ගැනීමෙන් පසු තවුසා තවුස්දම් පිරීම අතහැර කෑමෙන් බීමෙන් ප්‍රීතිවෙමින් සිය ජීවිතය ගතකරන්නට පටන් ගත්තා.වැඩි දිනක් නොගොස් ම ඔහුගේ සිත නාටිකාංගනාව කෙරේ ඇදී ගියා.ඇයට එයට විරුද්ධ වන්නට හේතුවක් තිබුණේ නැහැ ඇගේ අරමුණ වුණෙත් එය ම නිසා.එබැවින් තවුසා ඇය හා විවාහ වී අඹුසැමියන් ලෙස දිවි ගෙවීම ආරම්භ කළා.මේ වන විට තවුස්දම් රැකීම මඟින් රැස්කරගෙන සිටි සියලු දක්ෂතාවන් තවුසා වෙතින් ඉවත් ව ගොස් තිබුණා.මේ අතර තවුසාට දාව නාටිකාංගනාවගේ කුසේ දරුවකු පිළිසිඳගත්තා.එම දරුවා ඉපිද මාස කිහිපයක් ගත වන විට ඇය තවුසාට මෙසේ පැවසුවා.

“ස්වාමිනී, අප සිද්ධස්ථාන වන්දනාවේ යමු.ඒ ස්ථාන කරා ගොස් අපේ ශරීර එහි පිරුණු පව්කාරකම්වලින් පිරිසිදු කර ගනිමු.”

වනදනාවේ යෑම පිළිබඳ අදහසින් උද්දාමයට පත් තවුසා ඊට එකහෙළා එකඟතාව පළ කර සිටියා.නාටිකාංගනාව පසෙකින් තබාගෙන ගමන් ඇරඹූ හෙතෙම සිය දරුවා උරහිස් මත තබා ගත්තා.පොරොන්දු වූ පරිදි ම ඇය මාලිගාව වෙත තවුසා කැටුව ගියා.

නාටිකාංගනාව මාලිගය කරා එද්දී රජු ඇය හඳුනාගත්තා.” මම හිතනවා මේ එන්නේ මම තවුසා රැගෙන එන්නට පිටත් කළ නාටිකාංගනාව කියා.”

“ඔව්.රජතුමනි මේ ඇය ම තමා.”රාජපුරුෂයන් පවසා සිටියා.රජු හමුවේ සියලු පවත් පැවසූ ඇය සිය ප්‍රදානයන් ඉල්ලා සිටියා.මෙවිට තවුසා අවබෝධ කරගත්තා ඇය විසින්  තමන් රැවටීමකට ලක් කර  ඇති බව සහ රජු  විසින් තමාගේ තවුස්දම් බිඳදමා තමාගේ දස්කම් නැති කර දමන්නට ඇය එවනු ලැබ ඇති බවත්.දැඩි ලෙස කෝපයට පත් ඔහු නගරයෙන් පලා ගියා.ඒ යන අතරතුරේ සිය පුත්‍රයා මරා දැමූ ඔහු වනයට වැදී නැවත පිළිවෙත් පිරීම ආරම්භ කළා.වැඩිකල් නොගොස් මෙම තවුසාත් රජතුමාත් මියගියා.දැන් මේ තිදෙනා ම එනම් රජතුමා,තවුසා සහ දරුවා මේ නගරයේ යළිත් ඉපදී සිටිනවා.එම රජතුමා වූයේ ඔබයි.දරුවා තෙල්කරුවකුගේ පුත්‍රයකු ව ඉපදුණා.තවුසා කුඹල්කරුවකුගේ නිවසක උපත ලැබුවා.තෙල්කරුවාගේ පුත්‍රයා දක්ෂ මායාකරුවකු විය හැකිව තිබුණත් ඔහු සොයා ගිය තවුසා ඔහුගේ අසීමිත මායා ශක්තිය භාවිත කර තෙල්කරුවාගේ පුත්‍රයාව අවතාරයක් බවට පත් කළා.දැන් ඔහුව ගසක උඩ අතට එල්ලා තිබෙනවා.ඔහු ඔබවත් සොයනවා ඝාතනය කර දමන්නට.ඔබ ඔහුගෙන් ගැලවුණොත් ඔබට සදාකල් මෙම රාජ්‍යය පාලනය කළ හැකියි.එම නිසා ඔබගේ ආරක්ෂාව පිණිස මම ඔබට අවවාද කර සිටිනවා.”

මෙසේ පවසනවාත් සමඟ ම අමරණීයයා අහසට පැන ඉන්ද්‍රවාසය වෙත ගමන් කළා.රජු සිය මාලිගයට පැමිණ විවේක ගත්තා.

ඉතිරිය …මීළඟ කොටසින්
.