මල් පැලේ උපන් පන්සලේ පියතුමා .. මතක පොතෙන්..

1998 ජන 15 දාමල්පැලේ උපන් පන්සලේ පියතුමා නමින් විරුදාවලි ලැබූ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ස්වර්ගස්ථ විය. උන් වහන්සේ සංගීත,ගීත,කාව්‍ය රචනා යන අංශවල දස්කම් පෑ අතර ආගමික සමගිය වර්ධනය කරන්නට උත්සාහ දැරෑ පියතුමකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.

මේ උන්වහන්සේ පිළිබඳව විවිධ පුවත්පත්වල පළ වූ ලිපි එකතුවකි.

සොබාදහමට පෙම් බැඳි සංවේදී කවියා මර්සලින් ජයකොඩි නි.ම.නි. පියතුමා

 මර්සලින් ජයකොඩි නි.ම.නි. පියතුමා සිංහල කතෝලික ගීත සාහිත්‍යය පෝෂණය කිරී­‍මෙහි ලා ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් ඇරැඹි මෙහෙවර ඉදිරියට ගෙන ගියේ ය. එතුමන් අතින් ඒ වෙනුවෙන් ඉටු වූ සේවය අති මහත්ය. එතුමා යුග පුරුෂයකු ලෙස හැඳින්වීම යුක්ති සහගත ය.

ජයකොඩි පියතුමා උපත ලද්දේ 1902 ජුනි 03 වන දින දංකොටුවේ ය. එතුමාගේ පියා පෝශප් ජයකොඩි නම් ආයුර්වේද වෛද්‍යවරයකු විය. ජොසපින් සෙනෙවිරත්න නම් වූ මව විවාහයට පෙර බෞද්ධ බැතිමතියක්ව සිට විවාහයේ දී කිතු දහම වැළැඳ ගත්තා ය. පියතුමා සඳහන් කරන පරිදි පුජා ප්‍රසාදිතුමකු වීමට එතුමා දිරිමත් කර ඇත්තේ මව ය. කුඩා වියේ සිට ම එතුමාට මවගේ බෞද්ධ ආභාෂය බලපා ඇත. 1990 වසරේ සිය උපන් දිනයේ මව අරබයා ලියා ඇති මේ කවිය ඊට නිදසුනකි.

 “ මගෙ අම්මගෙ අම්ම දිනක – නෙළුම් මලක් නෙළලා”
පෝය රෑක බුදුන් වැන්ද – දුවක් දෙන්න කියලා

සිය ළදරු වියේ සිට ම පියා ගායනා කළ සිංහල පාළි හා සංස්කෘත වෙද පොත්වල කවි වලට ද , මව ගායනා කළ සන්දේශ කාව්‍යවලට ද සවන් දීමෙන් මර්සලින් දරුවාගේ සිත කවියට බැඳුනේ ය. තම මවගේ පැතුම ඉටු කරමින් මර්සලින් 1927 දෙසැම්බර් 20 වන දින පූජකවරය ලැබී ය. අනතුරුව එතුමා කොළඹ සාන්ත පෝශප්, සාන්ත පීතර හා යාපනයේ සාන්ත පැට්‍රික් යන විදුහල්හි ආචාර්යවරයකු ලෙස සේවය කළේ ය. පසුව එතුමා ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙහි සංගීතය හැදෑරි ය. එම සංගීත ආශ්‍රමයෙහි ම සංගීතය හැදෑරූ ඉන්දිරා ගාන්ධි (පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරිය) එතුමාගේ සමීපත ම මිතුරිය වූවා ය.

ජයකොඩි පියතුමාගෙන් මෙරට කිතු සසුනට ඉටු වූ වටිනා ම සේවය කතෝලික ගීතිකා ක්ෂේත්‍රයෙහි සිදු කළ පෙරළිය ය . එතුමා ගීතිකා රචනයට අවතීර්ණ වන්නට පෙර දෙව්මැදුරුවල ගායනය වූයේ බටහිර රටවල තනු වලට සිංහල පද යෙදු ගීතිකා හා ලතින් ගීතිකා ය. 1944 අගෝස්තු මාසයේ ජයකොඩි පියතුමා පද මාලාවත්, ස්වර මාලාවත් නිර්මාණය කර සිය කුළුඳුල් ගීතිකාව “සපිරි සෑම අසිරි සෝම” එළිදැක්වීය. පියතුමා දේවමාතාවන් වහන්සේ කෙරෙහි දැක්වූ අසීමිත ගෞරවය හා භක්තිය සිය මුල්ම ගීතිකාව දේවමාතාවන් අරබයා රචනා කිරීමට හේතු වූවා විය හැකි ය. දශක හතකට ද වැඩි කාලයකට පසුව අද  ද එම ගීතිකාව නිතර, විශේෂයෙන් මැයි මාසයේ දී ගායනා කරනු අසන්නට ලැබේ.

එතුමන්ගේ සරල එ‍ෙහත් හද බැඳ ගන්නා පද මාලා කිතුනුවන් අතර අතීශය ජනප්‍රිය විය. “සපිරි සෑම” ගීතිකාවෙන් සිංහල ගීතිකාව නව මගකට ගෙන යාම ඇරඹූ එතුමා අතින් ලියවුණ ගීතිකා සංඛ්‍යාව 500කට ආසන්න වේ. එම ගීතිකා අතරින් වඩාත් ජනප්‍රියව ඇත්තේ එතුමා මරියතුමියයේ ගෞරවය සඳහා රචනා කළ ගීතිකා ය. “ ‍ෙදපා ළඟ තබාලා, ඔබව සෝබන අත් විහිදා, ශ්‍රී ලංකා රාණි මෑණියේ, නෙළුම් පිපීලා පෙති විසරීලා” ආදිය ඊට නිදසුන් ය. ජයකොඩි පියතුමා විසින් රචිත ගීතිකා හා ස්වර රචනා පොත් රාශියක් වෙයි. “ මල් කුමාරි, මංගලී, කැකුළු කිණිති, තුන් කැකුළු, රෝස තිත, යා ගී, වන මල, සරණ සිරිත” ඉන් කීපයකි.

ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු සිංහල කැරොල් සාහිත්‍යයට විශිෂ්ඨතම කෘතීන් දායාද කළේ ජයකොඩි පියතුමායයි කීම නිවැරැදි ය. 1949 දී රචිත එතුමාගේ මුල්ම කැරොල් ගීය “රෑ තරු බබලනවා ” විය. ඉන් පසුව “ සීනු හඬින් ලොව පිබිදවනවා, රැයක අඳුර දුරුවෙලා, රනින් මුදු සදාලා” ආදී අද ද ජනප්‍රිය ගීතිකා ඇතුළු කැරොල් රාශියක එකතුවකි “ කැරොලිනා” ගීත සංග්‍රහ ය. කවිය, ගීතය, කැරොල් ආදී එතුමාගේ කෘති කුමක් වුව ද කුඩා දරුවකුට වුව ගායනා කර රස විඳිය හැකි ඉතා සරල, සුගම බස් වහරකින් යුතු විය.

ජේසු සමිදුන් හා මරියතුමිය දෙස ලාංකේය ඇසකින් බලන්නට ජයකොඩි පියතුමා වෙර දැරුවේ ය . මේ එයට කදිම නිදසුනකි.

 මැණික් ගඟේ අපි මැණික් ගරාලා – වලවේ කළු ගංගා
ඔටුනු සදාලා හිස පළඳාලා – සමනල ගිර ඔබ රුව නංගා
හෙළදිව රැජිණිය ඔබව කරාලා -ලක තැන තැන ඔබෙ දද නංගා
මරිය කුමාරිය සරි පිරි නාරිය – පුදමු අපේ රැජිණිය තුංගා
ඉන්දීය සාගර මුතු කිමිදීලා – කර වට කර බන්දා
සඳ රැස් ඇද සුදු සේල ගොතාලා -ඔබෙ රුව වට අන්දා
දඹ දොඹ රුක් නා සපු සෙව්වන්දිය – මල් මත ඔබ ඉන්දා
වඳිමු අපේ ලස්සන ලක් රැජිණිය – මුදුනේ අත් වන්දා

 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ පළමු සැමරුම 1949 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේ පැවති අවස්ථාවේ පළමු වරට “ නමෝ නමෝ මාතා” නව ජාතික ගීය ගැයූ මියුසියස් විද්‍යාලයීය සිසුවියන් පිරිස එවකට මුදල් අමාත්‍යවරයා ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරාධනයෙන් පුහුණු කරන ලද්දේ ජයකොඩි පියතුමා විසිනි.

ජයකොඩි පියතුමා වෙත විශාල කීර්තියක් ගලා එන්නට 1956 දී එතුමා “ රේඛාව” චිත්‍රපටය සඳහා ලියු ගීත හය මග පෑදී ය. එතෙක් දකුණු ඉන්දියානු ස්වර රටාවන්ට සිංහල වචන කවා නිර්මිත චිත්‍රපට ගීත කලාව වෙනස් කිරීමට අදහස් කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා තම චිත්‍රපටය සඳහා ගීත රචනයට ජයකොඩි පියතුමාට ඇරයුම් කළේ ය. එතුමා ලියු ගීතවලට එතුමාගේ ඉල්ලීමෙන් තනු නිර්මාණය කළේ සුනිල් සාන්තයන් ය. එම සුසංයෝගයේ ප්‍රතිඵලය ලෙස රේඛාවේ ගීතවලට ජනතාවගේ ඉහළම ප්‍රතිචාරය හිමි විය. එම ප්‍රතිචාරය කොතෙක් ද යන්න පෙන්වා දෙන හොඳම සාධකය 1957 දී සිලෝන් ඔබ්සර්වර් පත්‍රය මගින් පවත්වන ලද ජනප්‍රියම චිත්‍රපට පුද්ගලයා තරඟයෙන් වැඩිම පාඨක ඡන්ද ලබා ජයග්‍රාහකයා ලෙස ජයකොඩි පියතුමා තෝරා ගනු ලැබීම ය. අනතුරුව එතුමා තවත් චිත්‍රපට කීපයකට ගීත රචනා කළේ ය. එතුමා රෝමියෝ ජුලියට් චිත්‍රපටය සඳහා “my dreams are roses” හා හිතක පිපුණු මල් චිත්‍රපටය සඳහා “ no east no west” යන ඉංග්‍රීසි ගීත ද ලිවී ය.

සිංහල කවියට මහත් සේ ඇළුම් කළ මේ කවියා සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති පදවිය ද දැරී ය. එතුමාගේ කාව්‍ය නිර්මාණවලින් 1980 රචිත “මුතු” පොතට එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

“ආසියාවේ නොබෙල් සම්මානය” යන විරුදාවලි ලද පිලිපීනයේ මැග්සේසේ සම්මානයෙන් ජයකොඩි පියතුමා 1983 දී පුදනු ලැබී ය. ඒ පුවත්පත් කලාව, භාෂා හා නිර්මාණාත්මක ජන සන්නිවේදනය යන ක්ෂේත්‍රය අරබයා ය. එම සම්මානය පිරිනැමීමේ උත්සවයේ දී සභාව අමතමින් එතුමා ප්‍රකාශ කළේ “ මම වැඩි දෙයක් කරලා නැහැ. මගේ රටේ ජනතාවගේ සාමය සහෝදරත්වය වෙනුවෙන් කවි කීප යක් ලියා තිබෙනවා” යනුවෙනි. පියතුමාගේ නිහතමානීකමට එම වචන කීපය ම සාක්ෂි දරයි.

ජයකොඩි පියතුමන් සොයා ආ එක ම සම්මානය මැග්සේසේ නොවේ. ටවර් හෝල් පදනමේ කලාශූරී, විද්‍යාලංකාර මහා පිරිවෙනේ කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි, සමස්ත ලංකා සිංහල කවි සමමේලනයේ කාව්‍ය මහෝපාධ්‍යාය හා කතෝලික සභාවේ කිතු නන්දන ද එතුමන් ලද සම්මාන ය.

එහෙත් සිය මව්බිමෙන් ලද උතුම් ම සම්මානය එතුමන් අළලා අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ මේධාලංකාර හිමිපාණන් විසන් රචිත “ මල්පැලේ උපන් පන්සලේ පියතුමා” ග්‍රන්ථය යැයි මම සිතමි.(ඉහත චිත්‍රය චිත්‍රශිල්පි කුමුදු තාරක මහතා විසින් පුවත්පතකට අඳින ලද චිත්‍රයකි.)

ලිඩ්වින් කිරිඇල්දෙණිය
හලාවත

සියලු ජාතීන්ට ආදරය කළ පන්සලේ පියතුමා

පී. ලක්‌ෂ්මන් කුමාර

මර්සලින් ජයකොඩි පියතුමා මෙසිරි ලකට අති විශිෂ්ට සේවාවක්‌ සැලසු කතෝලික පියතුමකු, කවියකු, ගීත රචකයෙකු, ලේඛකයකු, මෙන් ම ඉතාමත් අහිංසාවාදී දුලබ මානව හිතවාදියෙකු ලෙස ලක්‌ සමාජයේ ගෞරව බහුමානයට පාත්‍ර වුවන්ගෙන් එක්‌ අයෙකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය, “නමෝ නමෝ මාතා” මුල් ම වතාවට ගායනා කර නිදහස්‌ දිනයේ එළිදැක්‌වීමට කොළඹ, මියුසියස්‌ විද්‍යාලයේ දරුවන් සියදෙනකුට පුහුණු කිරීමේ මහා වගකීම රජය විසින් පවරා තිබුණේ පාසල් ගුරු වෘත්තියේ යෙදී සිටි ජයකොඩි පියතුමාට ය.

උන්වහන්සේ බෞද්ධ හා කතෝලික ආගම් දෙකම තමාගේ ආගම වශයෙන් හිතුවා පමණක්‌ නොව එය නිර්මාණාත්මක කලාවෙන් ඔප්පු කරනු ලැබුවා. පන්සල, පල්ලිය සමග කහ සිවුර හා සුදු ලෝගුව සමග සහජීවනයෙන් ගත කිරීම එතුමා රටට කියා පානු ලැබුවා. බොදු, කිතුනු ආගමික සහජීවනය උදෙසා කළ සේවය අගය කරමින් අහිංසක පියතුමන්ට භක්‌තිවන්ත බොදුනුවන් පන්සලේ පියතුමා යනුවෙන්ද, භක්‌තිවන්ත කිතුනුවන් පල්ලියේ හාමුදුරුවෝ නමින්ද හඳුන්වනු ලැබුවා.

ජයකොඩි පියතුමා කිසි විටක මුදලට මුල් තැනක්‌ නොදුන් බව රට ම දන්නා කරුණකි. පිලිපීනයෙන් උන් වහන්සේට ‘මැග්සේසයි’ සම්මානය සමග ලක්‌ෂ 5 ක, මුදලක්‌ සහ රත්‍රන් පවුමක්‌ ලැබුණි. විදේශීය මුදලින් ලැබුණ එය ලංකාවේ මුදලට පරිවර්තනය කළාම ලක්‌ෂ 8 ක්‌ විතර, ඒත් එයින් උන්වහන්සේ සැප ලැබුවේ නැහැ. ඒ මුදලින් ලක්‌ෂයක්‌ සමස්‌ත ලංකා කවි සම්මේලනයට පරිත්‍යාග කළ අතර, ඉතිරියෙන් රාගම ඉඩමක්‌ මිලට ගෙන “කලා ලංකා” කියල පාසලක්‌ සාදනු ලැබීය. මෙහි පෙර අපර දිග සංගීතය, චිත්‍ර, මූර්ති, නැටුම් වැනි දේශීය කලාවට මුල්තැනක්‌ දෙන අධ්‍යාපනික කටයුතුවලට අවස්‌ථාව ලබා දෙනු ලබයි. උන් වහන්සේ කලාවට ලැදිකම නිසාම මෙම ආයතනය පිහිටුවීම මෙය හදාරන ලොකු කුඩා කාටත් මහා සේවයකි.

රටේ ජාතීන් අතර සමගියටත්, ආගම් අතර සමගියටත් ජයකොඩි පියතුමා විසල් මෙහෙවරක්‌ ඉටු කළ අයෙකි. උපතින් ගෙන ආ කලාකාමී අදහස්‌ සමග නිතර ජීවත් වූ පියතුමාගේ සෑම නිර්මාණයක්‌ම ජාතියේ ප්‍රශංසාවට ලක්‌විය.
“සුදු සඳ එළියේ නළ මත පොපියන – හිරිමල් කැකුළක රොන් කෙමියේ…”

“වෙසක්‌ කැකුළු අතු අග හිඳ නටන විලාසේ…”

“ඕලු නෙලුම් නෙරිය රඟාලා….” වැනි නිර්මාණ එදත්, අදත්, හෙටත් ප්‍රශංසාවට ලක්‌ වන බව ඔබ ද පිළිගන්නවා නොඅනුමාන ය.

උන්වහන්සේගේ කිතුනු, බොදුනු හා අනෙකුත් නිර්මාණයන්ට හිමිවූ සම්මාන ප්‍රමාණවත් නැති යයි මට හැඟේ. 1975 වසරේදී “රන් මලක්‌” පුදා විලියම් ගොපල්ලව ආණ්‌ඩුකාරතුමා ජාතියේ උපහාරය පිරිනමනු ලැබු අතර, 1987 දී “මුතු” කාව්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වුනා. එසේම 1982 දී “කලාසූරී” සම්මානයත්, සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනයෙන් “කාව්‍ය මහෝපාධ්‍ය 2” සම්මානයත්, කතෝලික සභාවෙන් “කිතු නන්දන” සම්මානයත් උන්වහන්සේට පිරිනමනු ලැබුවා. එසේම විද්‍යාලංකාර මහා පිරිවෙනින් “කාව්‍ය ශ්‍රාවස්‌ත්‍රී ශිරෝමනී” සම්මානයෙන් උන්වහන්සේ පිදුම් ලැබුවා. “රැමොන් මැග්සේසයි” සම්මානය උන් වහන්සේට පිරිනැමුනේ 1983 වසරේ දීය.

මෙම ලැබුන සම්මාන ගොන්න උන්වහන්සේ සැලකුවේ තමාට නොව රටට ලැබුන සම්මාන ලෙස ය. මෙම සම්මානයන් ගැන කියු කථාවක්‌ මට හමුවුනා ජයකොඩි පිය ලකුණ ග්‍රන්ථයේ 13 වැනි පිටුවෙන්. උන්වහන්සේ මේ සම්බන්ධයෙන් බෙනඩික්‌ ජෝෂප් පියතුමාට පවසන්නේ මේ ආකරයෙනි. “දැන් මට කලාශූරි කියනවා, කාව්‍යයේ මහා උපාධ්‍යාය කියනවා, මැග්සේසයි ත්‍යාග ලාභී කියනවා. මොනවද නොකියන්නෙ.” පියතුමා මෙම සම්මාන දෙස බැලුවේ එවැනි සරල චින්තනයකිනි.

පියතුමා විසින් රචිත නත්තල් කැරොල් ගී, කිතු බැති ගී, බොදු ගී, ජන ගී, ගැමි ගී හැරුණ විට කෙතරම් අගනා ගද්‍ය රචනා තිබේදැයි එතුමා සම්බන්ධ පොත පත කියවීමේදී හමු වේ.

රේඛාව චිත්‍ර පටයට නිර්මාණය “කළ කබරගොයා ඇගේ සුරතලී” (ඕලු නෙලුම් නෙරිය රඟාලා) ගීතය අද සිටින පෙර පාසල් දරුවා පවා ආදරයෙන් විග්‍රහ කරමින් ගායනා කරනු ලබයි. විනෝද චාරිකාවකදී ලොකු කුඩා රසිකයකු අනිවාර්යයෙන් ම එදා මෙන් ම අදත් ගායනා කරන මෙම ගීතය ලිව්වේ කව්දැයි යන්න අද පරම්පරාවේ ඇතැමෙන් නොදන්නා තරම් ය.

උන්වහන්සේ පරිසරය හා මුසු වෙමින් ලියු බොදු ගී හා කවි කෙතරම් සුන්දර ද,

වෙසක්‌ වෙලා ඇයි, උඩවැඩියා මල – ගසක්‌ උඩට වී මල් පිපුනේ

සඳවත නරඹා ‘සුපුන් පොහොය දා’ – පුජා වන්නද වන මුදුනේ

උන්වහන්සේගේ රචනාවන්ට ගැමි අත්දැකීම්, ගැමි වචන, සරල බව, කෙටි යෙදුම් මුසු කර තිබීම මෙම පද්‍යායෙන් මොනවට පැහැදිලි වේ.

අකුරු ගිහින් නම ලිව්වා

පෝයට “සාදුයි” කිව්වා

බතල, මිරිස්‌ අල වැව්වා

මාලිට හසුනක්‌ යෑව්වා

මෙහි සරළ තේරුම දෙස බලන විට ගැමි තරුණයෙක්‌ තමාගේ ජීවිතේ ගැට ගහ ගන්න අකුරක්‌ ඉගෙන ගත්ත, ආගම දහමට ලැදි වුනා, කන්න බොන්න වගා කළා, පෙළවහකට මුල පිරුවා. මෙය කෙතරම් සුන්දර පද වැලක්‌ ද.

උන්වහන්සේ යතිවරයෙකි. ලෝකයටම ආදරය කරන කෙනෙකි. එහෙත් ගිහි අපගේ ආදරය මම හිතනා විදියට යතිවරයෙකුගේ ආදරයට සමාන කළ නොහැකි වේ. අපි ආදරයෙන් වේදනාව උරුම කරගන්නෝ ය. එහෙත් අපේ පියතුමා තම කලා නිර්මාණයන් අපේ අත්දැකීම්වලට වඩා ඉදිරියට ගොස්‌ කලාත්මකව සිතීමට දක්‌ෂ වීම කෙතරම් අගනේද. මෙම ගැමි ගී නිර්මාණයේ කව් ගණනාවකින් මා අපිළිවෙළට තෝරා ගත් කවි තුන එය මනාව පැහැදිලි කරයි.

ඉද්ද මලුයි, සමන් මලුයි නුඹෙ ඇස්‌ වාගෙයි

හිමින් යන්නකො මැණිකේ ඔසරිය පෑගෙයි

දන්නෙ නැද්ද මේ වයසට ඔහොම තමාලු

ළඟින් ගියත් ගස්‌වැල්වල මල් පූදීලු

ඒකට මට හතර හිනා මල් වගේද තොල්

නෑ ඇත්තට මට කියන්න තොල් වගේද මල්

මර්සිලින් ජයෙකොඩි පියතුමාගේ පැවිදි දිවියත්, කලා දිවියත්, ජීවන ගුණාංගත් මට ලියා ඉවර කරන්නට බැරි ය. එහෙත් මෙම ලිපිය නිර්මාණය කළේ උන්වහන්සේට පාසල් වියේ සිට මා තුළ උපන් ආදරය නිසා ය.

ජයකොඩි හිමිපාණන් සිව්පා සතුන්ටද මනා ලෙස ආදරය කළ කෙනෙකි. විශේෂයෙන් උදේ හවස දකින හූනා සහ ගෙම්බා ගැනද ඔවුන් සමග කතා කරමින් කවියක්‌ හා ලිපියක්‌ ලිවීමටද අමතක නොකිරීම කෙතරම් ගුණවන්ත කමක්‌ද.

පියතුමා හූනෙකුට ලියු කව් ගොන්නකින් මේ, එකකි.

නුඹ එක හොඳ දෙයක්‌ කරනව දන්නවද

උඩුබැලි අතට හිඳ මගෙ සීලිමට වැද

මිනිසා කරන කෝලං බලනව නොවෙද

කියපන් මටත් ඒ කොහොමද යනු හොඳද?

උන් වහන්සේගේ 113 උපන් දිනයට උපහාරයක්‌ වශයෙන් පළ කරන මෙම ලිපිය අවසන් කරන්නේ විවෘත සංදේශයක්‌ නමින් උන්වහන්සේගේ නිතර දකින සමීපයෙකුට එනම් “ගෙඹිහාමි සර්ට” ලියු ලිපියෙනි. (මෙම උපුටා ගැනීම් බෙනඩික්‌ ජෝෂප් හිමිපාණන් විසින් රචිත දේශීය නත්තල් ගීතාවලියෙන් මතුවන ජයකොඩි පියලකුණ ග්‍රන්ථයෙනි.)

මගේ කාමරේට රෑට රෑට එන ගෙඹි හාමිට විවෘත සන්දේශයක්‌.

ගෙඹිහාමි සර්,

තමුසෙ, කොයි ලෝකෙ ඉඳල ද මේ රෑ දෙගොඩ හරියේ මා කුරුටු ගගා ඉන්න වේලාවේ මගේ පුටුව ළඟට ඇවිත් අහලින් පහළින් යන මැස්‌සන් මදුරුවන් ගිල ගන්නෙ ?. ඔය දිව තමා දිව· විදුලිය වගේ එළියට එනව. විදුලිය වගේ ඇතුළට යනව. ඔය චූටි සත්තුන්ගේ පර ලෝකේ තමුසෙගෙ බඩද? අපි වගේ ලුණු ඇඹුල් බල බල ඉන්නෙ නෑ තමුසෙ. ගත්ත, ගිල්ල. තමුසෙගෙ පවුල් දිවිය හරි වාසනාවන්තයි නේද? ගෙඹි හාමිනේ එක්‌ක සන්ඩු නෑ ලුණු ඇඹුල් ගැන.

ඉඳ හිටල මට පෙනුනා තමුසේ මා දෙසත් බලනවා. “නුඹටත් ඔය ටික තමා” කියනවා වාගේ, අනේ සර් එහෙම නම් හිතන්න එපා. මා තමා පිරුළු කතාවේ කියන කෙහෙල් ගහ, අන්තිමට කෑරලා කොටන· හොඳද?

මම තමුසෙට වගක්‌ කියන්නද? තමුසෙගෙ ගමන උඩ පැනීමෙන් නේද වෙන්නෙ? නෑ, ඇත්තට තමුසෙට හිතුනේ නැද්ද කවදාවත් උඩ පැන්නොත් බිම වැටෙනව කියා? තමුසෙ දන්නෙ නැද්ද ඔයිට වැඩියෙ ලොකු මිනිස්‌සු උඩ පැනල බිම වැටිල, අනන්ත බිම බඩගානවා කියා. මෙන්න එහෙනම් මම තමුසෙට හූනා කියනව වගේ කියනව ඔය තමුසෙ උඩ පනින වෙලාවට මම ගැහැව්වොත් පයින් තමුසෙට නොමිලේ හඳට ගිය හැකියි කියල. එහෙ ගිහිනුත් දැන් වැඩක්‌ නෑ. එහෙ හාල් ඉවරලු. කරුණාකරල මහ බඹාගෙන් ඉල්ලන්න වරමක්‌, අනික්‌ අය වගේ කකුලෙන් බැරිනම් බඩගාගෙනවත් යන්න. ඔය උඩ පැන පැන යැම තමා තමුසෙගේ මාරකේ වෙන්නෙ කවද හරි හොඳේ……..

මේ වගට තමුසෙ හොඳට දන්නා අඳුනන,

ජයකොඩි හිමි.

 බොදුනු, කිතුනු සැමටත්, සමස්‌ත ලෝ වාසීන්ටත් ප්‍රේමකළ මර්සිලින් ජයකොඩි පියතුමා 1998.01.15 දින, ස්‌වර්ගස්‌ත විය. මෙය ලියන මා බෞද්ධයෙකු බැවින් උන් වහන්සේට නිවන් සුව පතමි! 

http://www.google.lk/url?sa=t&source=web&cd=7&ved=2ahUKEwiHm9Sbw_HYAhXKJZQKHa_dCgcQFjAGegQICBAB&url=http%3A%2F%2Fdampatadedunna.blogspot.com%2F2017%2F05%2Fblog-post_2.html%3Fm%3D1&usg=AOvVaw3a1_kErjpNvJ8ZBsghPV2I

 

මීට අමතරව ජනවාරි 15 දින මතක සටහන් කිහිපයක්  ම වෙයි.

*1559 ජන 15 දා එංගලන්තයේ පළමුවැනි එළිසබෙත් රැජින රජ බවට පත්විය.

*1935 ජන 15 සිංහල ශබ්ද කෝෂයේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත් විය.

 *1953 ජන 15 කොළඹ දේවි බාලිකා විද්‍යාලයය ආරම්භ විය.

*1923 ජන 15 ගීත කෝකිලාවිය ලෙස ප්‍රකට ගායිකා  සහ ජනප්‍රිය නිළි රුක්මනී දේවියගේ ජන්ම දිනයයි.  

*1876 ජන 15 හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පිහිටුවන ලදි.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (ගම්පහ මල් වත්ත) යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන හය අතුරින්, ගම්පහඉදිකොට තිබෙන උද්‍යානයයි. අනෙක් උද්භිද උද්‍යාන පහ වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයහක්ගල උද්භිද උද්‍යානයමිරිජ්ජවිල උද්භිද උද්‍යානයසීතාවක උද්භිද උද්‍යානය සහ ගනේවත්ත වන ඖෂධ උද්භිද උද්‍යානයයි.


පිහිටීමසංස්කරණයගම්පහ දුම්රිය ස්ථානයේ සිට, ගම්පහමිනුවන්ගොඩ ප්‍රධාන පාරේ, මීටර 450 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි.කොළඹ සිට උද්‍යානයට කිලෝ මීටර 29 ක පමණ දුරක් පවතී. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 33 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා නිවර්ථන පහතරට දේශගුණ තත්වයක් පවතියි. [1]

උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 36 ක් වන අතර, මෑතකදී දියත් කල නව සංවර්ධන කටයුතු වලදී තවත් අක්කර 7ක භූමි ප්‍රමාණයක් උද්‍යානයට අළුතින් එකතු කරන ලදී.[2]

ඉතිහාසයසංස්කරණය1876 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම භූමිය, රබර් වගා කිරීම සඳහා නිමවන ලදී.

රෝපිත පළමු රබර් පැළයේ අවශේෂ

පසුව 1879 දී බ්‍රිතාන්‍ය කිවු (Kew) රාජකීය උද්භිද උද්‍යානයේ සිට රැගෙන ආ රබර් බීජ පැල මේ භූමිය තුල රෝපණය කල අතර[3] , එම රෝපණ වැඩකටයුතු උද්‍යානයේ මුල්ම භාරකරුව සිටි මුහන්දිරම් ඒ. දි සොයිසා වෙත භාරදී තිබෙයි. එම රෝපිත රබර් ශාක 1881 වන විට පීදුනු බව සඳහන් වන අතර, ඊළඟ වසරේ සිට එහි බීජ රෝපණය සඳහා දිවයින පුරාත්, සමහර බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් වෙතත් රැගෙන ගිය බව සඳහන් වෙයි.

[4]පසුව දිවයිනේ ප්‍රධාන උද්භිද උද්‍යානයක් ලෙස සංවර්ධනය කල මෙම භූමිය තුල, වර්ථමානයේ දී ද රෝපණය කල මුල්ම රබර් ශාකයේ අවශේෂ මෙන් ම 19වන සියවසේ ඉන්දවූ ශාක සමහරක් දැකගත හැකි ය.

උද්‍යානයේ වැදගත් ශාක ප්‍රජාවන්සංස්කරණයමෙරට ප්‍රථම රබර් ශාකය – Hevea brasiliensis (1876 වසරේ රෝපණය කල අතර, 1986 දී ශාකය මියයන ලදී).

  • Dipterocarpus zeylanicus – (හොර)
  • Roystonia regia
  • Calophyllum inophyllum
  • Taraktogenus kurzii
  • Livistona rotundifolia

මීට අමතරව විවිධ ඕකිඩ් වර්ග, පර්ණාංග, ඖෂධ පැළෑටි, මල් පිපෙන ශාක උද්‍යානය තුල රෝපණය කොට තිබේ.

මේ 2014.3.11 දිවයින පත්‍රයෙන්...

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

වර්ෂ 1876 දී ගම්පහ හෙනරත්ගොඩ ප්‍රදේශයේ අක්‌කර 36 ක භූමි භාගයක්‌ එවකට පේරාදෙනිය රාජකීය උද්භිත උද්‍යාන අධ්‍යක්‍ෂ වරයාවූ ආචාර්ය ජෝර්ඡ් ත්වේට්‌ස්‌ විසින් තෝරාගත්තේ ලංකාවට අලුත් ගස්‌ බෝග වගාවක්‌ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන්නටයි. මෙම බෝගය අනෙකක්‌ නොව බ්‍රසීලය නිජබිම වූ රබර් ගසයි.

හෙන්රි විකම් විසින් බ්‍රසීලයේ සිට එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයට ගෙන ආ රබර් ඇටවලින් ලබාගත් පැළ හෙනරත්ගොඩට ගෙනගොස්‌ පර්යේෂණ වගාවක්‌ ලෙස ස්‌ථාපිත කිරීමෙන් අනතුරුව සුළු කාලයක්‌ තුළදී එය දකුණු ආසියාවේ ප්‍රධානතම රබර් බීජ හා පැළ බෙදා හැරීමේ මධ්‍යස්‌ථානය බවට පත්වීම සුවිශේෂ කරුණකි.

ඉන්පසු මෙම භූමි භාගය වෙනත් වගාවක්‌ හා පර්යේෂණ කටයුතුවලට යොමුවුණු අතර එහි මූලික නිර්මාණ කටයුතු සැලසුම් කළ මුහන්දිරම් ඒ ද සොයිසා මහතාගේ සිට මේ දක්‌වා උද්‍යානය භාරව කටයුතු කළ විවිධ නිලධාරීන්ගේ දක්‍ෂතා හා කැපවීම මත අලංකාරවත් ලෙස භූමි සැලසුම් කළ උද්භිද උද්‍යානයක්‌ බවට ක්‍රමයෙන් පත්විය.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය කොළඹට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින්, ගම්පහ හා කොළඹ ආශ්‍රිත දේශීය හා අපනයන මුල් වගාකරුවන්හට අවශ්‍ය නව තාක්‍ෂණික තොරතුරු ලබා දීමේ මල්වගා පර්යේෂණ හා සංවර්ධන ආයතනයක්‌ ලෙස එය වැඩි දියුණු කිරීමටත් ප්‍රජා සංවර්ධන වැඩපිළිවෙලක්‌ තුළින් මහජනයාට වඩා ඵලදායි ලෙස භුක්‌ති විඳීමට අවස්‌ථාව ඇති කිරීම තුළින් ආයතනික මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමටත් නව සංවර්ධන වැඩසටහනක්‌ දියත් කර ඇත.

*2001ජන 15 ජිමී වේල්ස් හ ලැරීසැන්ගර් විසින්‍ විකිපීඩියා අනිතර්ජාල විශ්ව කෝෂය දියත් කරන ලදි.

*1994 ජන 15 දී  කණ්ඩලම කල්චර් ක්ලබි හෝටලය  ඇරඹිණි.

ආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූහෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්‍රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි.[1].. එයඑයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි.[2]

ස්කරණයමෙම හෝටලය පෞරාණික දඹුලු නගරයආසන්නයේ පවතී.

අතීතයසංස්කරණය

1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර් මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි.[3]

ගෘහ නිර්මාණයසංස්කරණය

‍දේශමාන්‍ය ජෙෆ්රි බාවා මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීයා වේ.

මෙම ලිපිය හර්ෂගේ බ්ලොග් අඩවියෙනි…..

කන්ඩලම හෝටලය ගැන බිදක්.

කන්ඩලම වැවට ආසන්නයේම ඉදිවී ඇති කණ්ඩලම හෝටලය ඉතා දැකුම්කලු පරිසරයක ඉදිවී ඇත.වර්ෂ 1994 ඉදිවී ඇති කණ්ඩලම වර්ෂ 2005 දෙසැම්බර්  වල නැවත අලුත් කර ඉදිවී ඇත.කණ්ඩලම හෝටලය සැලසුම් කලේ ලොව අග්‍රගන්‍ය නිර්මාණකරුවෙක් වන දේශමාන්‍ය Geoffery Bawa විසින්ය .ඔහුගේ අග්‍රගන්‍ය නිර්මාණයක් වන කණ්ඩලම හෝටලය කාමර 152 කින් යුක්ත වෙයි.හෝටලය ඉදිකිරීමට මාස 22 ක පමණ කාලයක් වැය වී ඇත.එමෙන්ම 2005 නැවත හෝටලය සකස් කිරීමට මාස  7 ක් පමණ ගොස් ඇති අතර එහි නිර්මාණ ශිල්පියා වී ඇත්තේ චන්න දස්වත්තේ මහතායි.

Eco Tourisam සංකල්පය මත ඉදිවී ඇති මෙහි පාරිසරික කළමනාකරණ පද්දතිය (Enviornmental Management  System ) ආරම්බ වී ඇත්තේ 1998 සැප්තැම්බර් වලදීය.මෙහි ඇති කාමර 152 කොටස් 6 කට බෙදා ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ සම්මානනීය ඉදිකිරීම් සමාගමක් වන Link Engineering සමාගම විසිනි.වර්ෂ 2005 නැවත සකස් කිරීම සිදුකර ඇත්තේ Tuduwe Brothers (pvt) Ltd  විසිනි.

*1759 ජන15 ලන්ඩනයේ මොන්ටේගුහවුස්හි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය british museum මහජනතාවට ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි.

පහත ලිපිය trekmentor ංෙබ්ලොග් අඩවියෙන් උපුටාගැණිනි.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය (The British Museum)

The British Museum

ඉහත දැක්වෙන්නේ 2017/11/24 දින ගන්නා ලද ලන්ඩනයේ ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (The British Museum) ඡායාරූපයක්. ලන්ඩන් යූස්ටන් ඉස්ටේසමේ (Euston Station, London) සිට 1.5 km පමණ දුරින් ග්‍රේට් රසල් වීදියේ (Great Russell Street) බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පිහිටා තිබෙනවා. යූස්ටන් ඉස්ටේසමේ සිට පහසුවෙන්ම එතැනට ඇවිදගෙන යන්න පුළුවන්. ඒ වෙත යාමට වෙනත් ගමනාගමන පහසුකම් ද පවතිනවා. කෞතුකාගාරයට ඇතුළු වී එය නැරඹීමට ගාස්තු අය කෙරෙන්නේ නැහැ. පෞද්ගලික සහ වාණිජමය නොවන භාවිතයන් උදෙසා නරඹන්නන්ට කෞතුක වස්තූන්ගේ ඡායාරූප ගැනීම ද කළ හැකියි. ඊට ද ගාස්තු අය කෙරෙන්නේ නැහැ.

බ්‍රිතාන්‍ය පුස්තකාලය (The British Library) පිහිටා ඇත්තේ ද යූස්ටන් ඉස්ටේසම ආසන්නයේමයි. යූස්ටන් ඉස්ටේසමේ සිට 0.65 km පමණ දුරින් සෙන්ට් පැන්ක්‍රස්හි (St Pancras) එය පිහිටා තිබෙනවා. පුස්තකාලය 1973ට පෙර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේම කොටසක්ව පැවතියත් 1972 බ්‍රිතාන්‍ය පුස්තකාල පනතෙන් පුස්තකාලය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් වෙන් කොට තිබෙනවා. එසේ වෙන් කළ ද 1997 වන තෙක් එම ආයතන දෙක එකම ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් තිබෙනවා. ලංකාවෙන් එක් රැස් කරගන්නා ලද හියු නෙවිල් එකතුවට (Hugh Nevill Collection) අයත් පැරණි පුස්කොල පොත් පරිශීලනය සඳහා යා යුත්තේ බ්‍රිතාන්‍ය පුස්තකාලයට.

රටවල් රාශියකින් එක් රැස් කරගන්නා ලද කෞතුක වස්තූන් අති විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙනවා. එහි ඇති දෑ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ද සොයා බැලිය හැකියි. ඒ සඳහා කෞතුකාගාරයේ වෙබ් අඩවියේ ඇති “Research > Collection online” සෙවීම් පහසුකම භාවිතා කරන්න පුළුවන්. වෙබ් අඩවියේ දැක්වෙන සමහර කෞතුක වස්තූන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා නැහැ.

ඉතිහාසය පිළිබඳ විමසන අයට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති කෞතුක වස්තූන් ඇසුරෙන් බොහෝ දෑ උගත හැකියි. ඉන්දියාවේ සිට නොයෙකුත් රටවල් වලට බුදු දහම පැතිර යාම පිළිබඳව විමසන අයට ද එම කෞතුකාගාරයේ ඇති කෞතුක වස්තූන් ඒ ගැන නොයෙකුත් සාක්ෂි සහ ඉඟි ලබා දෙනවා.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පාකිස්ථානයේ ගාන්ධාර ප්‍රදේශයෙන් සොයා ගත් ක්‍රිස්තු වර්ෂ දෙවන – තුන්වන සියවස් වලට අයත් කාලයකදී සාදන්නට ඇතැයි සැලකෙන මහාමායා දේවිය දුටු සිහිනය දැක්වෙන කෞතුක වස්තුවක ඡායාරූපයක්:

මායා දේවියගේ සිහිනය

The Dream of Queen Māyā.    Photo credit: © The Trustees of the British Museum

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පාකිස්ථානයෙන් සොයා ගත් ක්‍රිස්තු වර්ෂ දෙවන – තුන්වන සියවස් වලට අයත් කාලයකදී සාදන්නට ඇතැයි සැලකෙන සිදුහත් කුමරාගේ උපත දැක්වෙන කෞතුක වස්තුවක ඡායාරූපයක්:

සිදුහත් කුමරාගේ උපත

The Birth of the Buddha and the Seven Steps.    Photo credit: © The Trustees of the British Museum

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s