වික්‍රම රජු සහ වේතාල දෙවන කොටස           කලාපය 1 පිටුව 25

හඳුන්වාදීම – 2 වන කොටස

ඊළඟ දිනයේ රජු නැවත නගරයට පැමිණ ඇති පුවත නගරය පුරා පැතිර ගියා.බාල,මහලු,දුප්පත් පොහොසත් සියල්ලන් ම රජු දැක බලා ගැනීමට පොරකමින් මාලිගය වෙත රැස්වුණා.මියුරු සංගීත නාදයෙන්,කෙළි සෙල්ලම්වලින්,නර්තනයන්ගෙන් හා සරදම්වලින් පිරී මුළු නගරය ම සතුටින් පිරී ඉතිරී ගියා.

දින කිහිපයකට පසු ශාන්තසීල නමින් හැඳින්වුණු තාපසයකු රජ මාලිගය වෙත පැමිණ රජුගේ අතේ ඇපල් ගෙඩියක් තබා,මඳ වේලාවක් මාලිගයේ අසුන් ගෙන හිඳ කිසිදු කතා බහක් නොකර මිනත්තු කිහිපයකට පසු පිටත් ව ගියා.ඔහු පිටත්ව ගිය පසු තමා මරා දමන්නට අදහස් කරගෙන සිටින සතුරු තාපසයා මොහු විය යුතු බව රජු අනුමාන කළා.එබැවින් එම ඇපල් ගෙඩිය අනුභව නොකළ රජු තම සේවකයකු අතට එය ලබා දී පරෙස්සම් සහිතව තබන ලෙස නියෝග කළා.ඊළඟ දිනයේ ද එම තාපසයා නැවත පැමිණ තවත් ඇපල් ගෙඩියක් රජුගේ අතේ තබා කිසිත් නොදොඩා යන්නට ගියා.මෙසේ ඔහු සති කිහිපයක් ම ඇපල් ගෙඩිය බැගින් දිනපතා රැගෙන ආවා.මේ අතරතුර දිනක් රජු සිය පිරිවර සමඟ අවි ගබඩාවට ගොස් සිටින මොහොතක එදින ද ඔහු වෙත පැමිණි තාපසයා ඔහුට ඇපලයක් තෑගි කළා.එහෙත් කුමක්දෝ හේතුවක් නිසා එය බිම වැටුණා.ඒ මොහොතේ කොහේදෝ සිට පැන ආ වඳුරෙක් එම ඇපලය ඩැහැගෙන එය දෙකට පැළුවා.පුදුමයකට මෙන් එම ඇපලය විවෘත වත් ම ඇස් අදහාගත නොහැකි තරමේ දීප්තියකින් යුත් පද්මරාග මාණික්‍යයක් එතුළින් බිමට වැටුණා.

 මිල කළ නොහැකි මෙතරම් වටිනා මැණිකක් තමන් වෙත දුන්නේ ඇයි දැයි මෙවිට රජතුමා තාපසයාගෙන් විමසා සිටියා.

“රජතුමනි, පූජනීය ග්‍රන්ථවල සඳහන් කර තිබෙනවා රජකු, පූජකයකු හෝ දෙවියකු හමුවට හිස් අතින් කිසිවෙකු නොයා යුතු බව මන්ද ඔවුන් වෙත තෑගි දීමෙන් පෙරළා තමන්ට ද ත්‍යාග හිමි වන නිසා.රජතුමනි ඔබ එක් මැණිකක් පිළිබඳ කතා කළත් මා ඔබ වෙත දුන් සෑම ඇපලයක ම මෙවැනි ම පද්මරාගයක් ඇතුළත් කර තිබුණා.”

තවුසා පිළිතුරු දුන්නා.මෙවදන් ඇසූ රජු වහා ම තමන් පරෙස්සමෙන් තබන්නැයි නියෝග කළ සියලු ඇපල් රැගෙන එන ලෙස රාජපුරුෂයකුට අණ කළා.එම ඇපල් සියල්ල දෙකට පළා බැලූ විට ඒ හැම එකක ම වටිනා පද්මරාග මැණික බැගින් තිබී හමුවුණා.ඉන් පසු ඒවා පරීක්ෂා කර බැලීම සඳහා මැණික් වෙළෙන්දෙකු ගෙන්වූවා.

“මැණික්කරුවාණනි,මෙලොව ඇති වටිනා ම දෙය සත්‍යයයි.එම නිසා මට මේ මැණික්වල සත්‍ය වටිනාකම පවසනු මැනවි.”

ඒවා පරෙස්සමෙන් පිරික්සා බැලූ මැණික්කරුවා “ඔබ පවසන දෙය සාධාරණයි රජතුමනි,සත්‍යය ඇත්තේ කොහි ද එතැන සියලු ගුණයහපත්කම් හමුවෙයි.මෙලොව වසන මනුෂ්‍යයන්ටත් වෙනත් ලෝකවල වසන අයටත් සත්‍යය සැමදා සේවය කරනු ඇති.රජතුමනි,මෙම මැණික් සියල්ල වර්ණයෙන්,ප්‍රමාණයෙන් හා දීප්තියෙන් එක සමානයි.ඒවා එක්ව ගත් කල වටිනාකම අපමණයි.ඒත් එකක් ගත්තතොත් එකක මිල රුපියල් ලක්ෂයකට වඩා වටිනවා රජතුමනි.”

රජු ඉතා සතුටට හා පැහැදීමට පත් වුණා.වටිනා තෑගි භෝග දී මැණික්කරුවා පිටත් කර හැරියා.ඉන් පසු රජු තවුසා දෙසට හැරී තවුසාගේ අතින් අල්ලාගෙන ඔහු රාජාසනය මත හිඳවූවා.”තාපස රජුනි,ඔබගේ ත්‍යාගයේ වටිනාකම මගේ රාජ්‍යයේ ඇති සියලු ධනයට හැම අතින් ම සමානයි.මෙවන් වටිනා ත්‍යාගයක් මා වෙත පිරිනැමීමෙන් ඔබ කුමක් බලාපොරොත්තු වන්නේ දැයි පවසන ලෙස අයැද සිටිනවා තාපසතුමනි.”

රජතුමනි,අනාගත සැලසුම්,පවුල් ආරවුල්,මුදල් ප්‍රශ්න,මන්ත්‍ර ශාස්ත්‍ර,ආදර සම්බන්ධතා,ඖෂධ,ත්‍යාග සහ මිනිසකුගේ ගෞරවය හෝ අගෞරවය පිළිබඳ කිසිදා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතුයි.ඔබ මගෙන් විමසන දෙය ඔබගේ ගෙදර දොර වැසියන් ඉදිරියේ පැවසිය නොහැකියි.කන් හයකට ඇසෙන දෙය රහසක් නොවන බව පැවසෙනවා.එය කන් හතරකට ඇසුණොත් පමණයි රහසක් වන්නේ.කන් දෙකකට පමණක් ඇසුණොත් දෙවියන්ටවත් එය අනුමාන කළ නොහැකියි.
ඉන් පසු රජු  තවුසා පසෙකට කැඳවා ඔහුට කැමති ආකාරයකට තමන් පරීක්ෂා කර බලන ලෙස පවසා සිටියා.

“රජතුමනි,ගෝදාවරී නදී ඉවුරේ විශාල සොහොන් පිටියක් තිබෙනවා.එහි දී මගේ යාගය සම්පූර්ණ කර අෂ්ට මායා බලයන්හි ප්‍රමුඛයා වන්නට බලාපොරොත්තු වෙනවා.ඒ නිසා එහි රාත්‍රියයක් ගත කරන්නට මට වීර පුරුෂයකුගේ උදවු වුවමනා වෙනවා.මේ ලොව ඔබට වඩා  වීර පුරුෂයකු නැහැ රජතුමනි. ඔබ මට උදවු කළ හොත් මගේ අරමුණ මුදුන්පත් කර ගත හැකියි රජතුමනි.”තවුසා පවසා සිටියා.(අෂ්ට මායා බල 1.අනිම-කෙනෙකු අදෟෂ්‍යමාන කිරීම 2.මහිම-කෙනෙකු අපරිමිත ලෙස විශාල කිරීම 3.ගරිම-කෙනෙකු අපරිමිත ලෙස බරින් වැඩි කිරීම 4.ලඝීම-කෙනෙකු අපරිමිත ලෙස කුඩා සහ සැහැල්ලු කිරිම 5.ප්‍රපටි-සියල්ල ලබා ගැනීමේ බලය 6.ප්‍රකම්ය-කිසිවෙකුට වැළැක්විය නොහැකි තමන් සිතුවක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව 7.ඉෂිත්ව-විශ්වයේ ප්‍රධානියා වීම 8.වාෂිත්ව-අනෙක් සියලු දෙනා යටත් අය ලෙස තබා ගැනිමේ බලය)

“සත්තකින් ම,ඔබ කැමති ඕනෑ ම රාත්‍රියයක්.”රජු පවසා සිටියා.

බද්‍රපාදයේ(නර්මදාවෙන් දකුණු කොටසේ අගෝස්තු-සැප්තැම්බර් අතර කාලය)අවපස දහහතර වන දිනය තෝරාගත් තවුසා එදින සන්ධ්‍යාවේ තමන්ට ආරක්ෂාව සපයන ලෙස රජුට පවසා සිටියා.ඉන් පසු තවුසා සිය ආශ්‍රමයටත් එතැනින් තමන් සූදානම් කළ භූමියටත් ගියා.

නියමිත දිනය එළඹුණා.රජු සිය කඩුව සහ සිරිය(කිරිච්චිය-අනින කඩුව)ඉණෙහි රුවාගෙන තනිවම තවුසා හමුවීම සඳහා පිටත් වුණා.තවුසාට ආචාර කළ රජතුමා “තාපස රජුනි,මම ඔබේ සේවය සඳහා පැමිණියෙමි.”යි පැවසුවා.

“රජුනි,අසුන්ගන්න.”රජු තවුසා කී පරිදි අසුන්ගෙන වටපිට බලන්නට වුණා.විවිධ ප්‍රමාණවලින් සහ හැඩයෙන් යුතු හොල්මන්,අවතාර සහ පිසාචයන් රජුට දකින්නට ලැබුණා.ඉතා භයංකර සංගීත නාදයක් වයමින් සිටි තවුසා වටා ඔවුන්  වළල්ලක් ආකාරයට සැදී නටමින් සිටියා.

එහෙත් රජුට කිසි බියක් දැනුණේ නැහැ.ඔහු තවුසාගෙන් විමසා සිටියා කුමක් කළ යුතු ද කියා.

“මේ සොහොන් බිමේ සිට දකුණු පැත්තට සැතපුම් හතරකට එහායින් තවත් සොහොන් බිමක් තිබෙනවා.ඔබට එහි දී ගසක එල්ලී සිටින මළ සිරුරක් හමු වේවි.ඒ මළ සිරුර මා වෙත ගෙන එන්න.”තාපසයා පැවසුවා.රජු ගමන් ආරම්භ කළා.

එය භයංකාර අඳුරු රාත්‍රියයක්.ඒ අතරේ තද වර්ෂාවක් ද ඇදහැළෙමින් තිබුණා.ඔහුට හතරවටෙන් ම අහන්නට ලැබුණේ මළකඳවල් සහ හොල්මන් එකිනෙකාට කොඳුරන සහ නන්දොඩවන හඬවල්. ඒත් ඔහු නිර්භීතව දුර අඩි තබමින් ගමන් කළා.සර්පයන් ඔහුගේ දෙපා වෙළාගත්ත ද තමන් උගත් මන්ත්‍රයන් ජප කරමින්  දෂ්ට කරන්නට පෙර උන් පළවා හරින්නට රජු සමත් වුණා.අවසානයේ දී රජු අනෙක් සොහොන්බිම වෙත ළඟා වුණා.සොහොන් බිම වෙත ගෙනැවිත් දැමූ මිනිසුන් ගිල දමන පිසාචයන් ද මියගිය කුඩා දරුවන්ගේ හදවත් කැබලිවලට ඉරා ආහාරයට ගන්නා මායාකාරියන් ද රජුට දක්නට ලැබුණා.දරුණු කොටින් නැඟී සිට වලිග කරකවමින් සිටියා.වන අලි අසිහියෙන් මෙන් එහාට මෙහාට වැනි වැනී සිටියා.මුළු පරිසරයම ශබ්දවලින් සහ හීතියෙන් පිරී තිබුණා.

සොහොන් බිම තුළ ගිනිගෙන දැවෙන සේ පෙනුණ ගසක් රජුගේ නෙත ගැටුණා.ඒ රජුට ඒ වටා මෙසේ කෑ ගසන හඬක් ඇසෙන්නට වුණා.

“ඔහු මරා දමපන්.ඔහු අල්ලා ගනින්.ඔහු ආහාරයට ගනින්,ඔහූ ඉරා දමපන්,බලාගෙන ඔහුව නවත්තපන්.”

අමරණීයයා පැවසූ කුඹල්කරු ඔහුට හමුවූ තාපසයා බව  අනුමාන කර තිබූ නිසා රජුට බියක් දැනුණේ නම් නැහැ.නිර්භීත ව ගස ළඟට ගිය රජුට දකින්නට ලැබුණා ගසේ අත්තක කඹයකින් එල්ලී පැද්දෙමින් තිබූ මළ සිරුර.ඔහු ගසට නැඟ කඩුව අතට ගෙන දේහය බිම වැටෙන ලෙස කඹය කපා දැම්මා.මළ සිරුර බිම වැටෙනවාත් සමඟ ම එය නැවතත් කෑ ගසන්නට පටන් ගත්තා.”ඔහු මරපන්,ඔහු මරපන්”

මේ හඬ ඇසෙනවාත් සමඟ රජු පරීක්ෂාකාරී වුඛා දේහයට තවමත් පණ තිබේ දැයි බලන්නට.ඔහු ගසින් බැස ගොස් දේහයෙන් විමසුවා ඔහු කවුද කියා.මහ භයංකර සිනහවක් නැඟූ දේහය නැවතත් පොළොවෙන් නැඟී සිට ගසෙහි එල්ලී සිටින්නට වුණා.විස්මයට පත් රජු නැවතත් ගසට නැඟ දේහය කිහිල්ලේ රුවා ගෙන බිමට ගෙන එන්නට උත්සාහ කළා.”දුෂ්ට කාලකන්නියා”රජු කෑගැසුවා.”මට කියාපන් උඹ කවුද කියා .නැත්තම් එය උඹට නරකට සිටීවි.”

නමුත් මළ සිරුර කතා කළේ නැහැ.එවිට රජු අනුමාන කළා මේ තවුසා විසින් මරා දමා සොහොන් බිමට ගෙනෙන ලද තෙල්කරුවාගේ පුත්‍රයා විය යුතු බවත් ඔහුගේ දේහයට අරක්ගෙන සිටින වේතාලයකු(හින්දු සංස්කෘතිය අනුව මළ සිරුරුවලට අරක් ගන්නා හොල්මනකි.)විසින් එම සිරුර මෙහෙයවන බවත්.සිය සළුවෙන් මළ සිරුර ඔතා ගත් රජු එය තම කර මත රුවා ගෙන තාපසයා වෙත රැගෙන යෑමට ගමන් ආරම්භ කළා.අපි මෙතැන් පටන් මළ සිරුර වේතාලයා කියා හඳුන්වමු.

වීර මිනිසුන් ජයගෙන කීර්තීය දිනාගනු ඇතැයි කියනු ලැබේ.ඉදින් මේ අවස්ථාවේ දී වේතාලයා  කතා කරන්නට පටන් ගත්තා.රජු කවුරුන් ද මළ සිරුර කොහේ රැගෙන යන්නේ දැයි වේතාලයා රජුගෙන් විමසා සිටියා.රජු සියල්ල විස්තර කළා.මෙවිට වේතාලයා මෙසේ පැවසුවා.”ඔබ මගේ අණට කීකරු වුවහොත් මම ඔබ සමඟ යන්නට එනවා.ඔබ යන අතරමඟ දී වචනයක් හෝ කතා කළහොත් මා නැවත සොහොන් බිමට යනවා.”රජු එයට එකඟතාව පළ කළා.

“රජතුමනි,නුවණැත්තන් වටිනා කාලය ප්‍රයෝජනවත් ලෙස යොදාගෙන සතුටින් ජීවත් වෙනවා.අඥානයන් නොනැවතී නිදමින් තම කාලය කා දමනවා.ඔබගේ මහන්සිය ද නිවා ගනු පිණිස මා කතන්දරයක් කියන්නම්.එයට හොඳින් ඇහුම්කන් දෙනු මැනවි.” යි පැවසූ වේතාලයා කතාව ආරම්භ කළා.

අනුන්ගේ බසට රැවටී දියණිය මරා දැමූ රජු පිළිබඳ කතාව -වජ්‍රමුකුද් සහ පද්මාවතී ..මීළඟ කොටසින් කියවමු..

Advertisements

2 thoughts on “වික්‍රම රජු සහ වේතාල දෙවන කොටස           කලාපය 1 පිටුව 25

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s