මතක පොතෙන් කලාපය 1 පිටුව 21

මතක පොතෙහි 1959 ජනවාරි 2 වැනිදා පිදෙල් කස්ත්‍රෝ බලයට පත් වූ බව සඳහන් වෙයි.නමුත් 1959 ජනවාරි 1දා බැටිස්ටා ඇතුළු පිරිස පළාගිය පසු කස්ත්‍රෝ ඇතුළු විප්ලවකරුවන් ජයගත් බැවින් බොහෝ පොත්පත්වල 1959 ජනවාරි 1 දා කියුබා විප්ලවය අවසන් වූ බව සඳහන් කර ඇත.

මේ 1978 ජන 02 දා අභාවප්‍රාප්ත වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා පිළිබඳ කතානායක කරු ජයසූරිය මහතා විසින් දිනමිණ පත්‍රයට සපයන ලද ලිපියකි.

විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

පුවත්

දේශයේ විශිෂ්ට නායකයන් අතරේ විශිෂ්ටත්වය රඳවා ගත් ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ 120 වැනි ජන්ම සංවත්සරය සමරණ මොහොතේ ඔහු විශිෂ්ටත්වය කරා රැගෙන ගිය සේවා සමහරක් පිළිබඳ සඳහන් කරමින් ලිපියක් සැපයීමට අවස්ථාව හිමිවීම මාගේ භාග්‍යය ලෙස සලකමි. එසේම මා වෙත දක්වන ලද විශිෂ්ට ගෞරවයක් ලෙස ද සලකමි.

බොහෝ සමාජයීය නායකයන් ජාතික වීරයන් ලෙස නම් කරන්නේ ඔවුන්ටම ‍විශේෂිත ‍ක්ෂේත්‍රයන් තුළ ඔවුන් ජාතියට සලසන සේවය හේතුවෙනි. ශ්‍රීමත් සිරිල් ද සොයිසා පිළිබඳ සඳහන් කරද්දී එක්වරම මනසට නැඟෙන්නේ ඔහු විසින් බුද්ධ ශාසනය පෝෂණය කිරීමෙහිලා ලබා දෙන ලද දායකත්වයයි. කෙසේ වෙතත් ඔහුගේ සේවාවන් එම සීමා පමණක් සීමා නොවේ.

ඔහුගේ සේවා ආර්ථික, අධ්‍යාපනික, දේශපාලනික, ක්‍රීඩා ආදී අමතක කළ නොහැකි විවිධ පරාසයන් දක්වා විහිදෙයි. ඒ සියලු විෂයයන්හිදී ඔහු කිසිවෙකුටත් දෙවැනි නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඔහු උපත ලබන්නේ 1896 වසරේ ඔක්තෝබර් 26 වැනිදා බලපිටියේ වැලිතර ග්‍රාමයේය. ඔහුගේ මවුපියන් වූයේ මහජන නොතාරිස් සොලමන් ද සොයිසා සහ හැරියට් ද සොයිසා මහත්මියයි. ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්ද කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ අතර ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගය සමත්වීමෙන් පසු නීති විද්‍යාලයට ඇතුළු වූයේය.

ඔහුගේ වෘත්තීය සඳහා ඔහු තෝරා ගත්තේ කළුතර නගරයයි. ඔහුගේ නාමය සදාකාලික කරන ලද කළුතර බෝධිය සංවර්ධනය කිරීමට ඔහු තම ජීවිතය කැප කළේය. එක්දහස් නවසිය තිස් ගණන්වලදී රජයේ නියෝජිතයන්ගේ නිල වාසස්ථානය කච්චේරි ඇතුළු රජයේ නිලධාරීන් ද සමඟ ගාලු පාරේ නැඟෙනහිරින් කළු ගඟේ දකුණු ඉවුරේ පිහිටුවා තිබුණි.

මේ අතර ගාලු පාරේ දකුණු පස අනාරක්ෂිතව තිබූ බෝ ගසට බැතිමතුන් විසින් වන්දනාමාන කරමින් සිටියේය.

එය හඳුන්වනු ලැබුවේ පහළ මළුව ලෙසිනි. සැදැහැවත් බෞද්ධයෙක් වූ ශ්‍රීමත් සිරිල් මේ ස්ථානයේ පවිත්‍රතාව වැඩි වන අයුරු තේරුම් ගෙන බැතිමතුන් විසින් පූජා කරන මල් තැබීමට මල් ආසනයක් ඇති කළේය. එතැන් පටන් සංවර්ධන ක්‍රියා ආරම්භ විය. එහෙත් එවකට එම නිල නිවාසවල සිටි රජයේ නියෝජිතයන්ගේ අරියාදුවට ලක්වූ ස්ථානයක් ලෙසට එය ඉලක්ක විය. අද පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ ශ්‍රීමත් සිරිල් නීතිඥවරයකු ලෙස ඒ සියලු බාධක ජය ගෙන ස්ථාපිත කරන ලද කළුතර බෝධියයි.

ශ්‍රිමත් සිරිල් විසින් ඉතා දුර දිග බලා ගන්නා ලද පියවරක් ලෙස මේ ස්ථානයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලය ස්ථාපනය කරන ලදී. මෙය භාරකාර ව්‍යවස්ථාවක් යටතේ ලියාපදිංචි කිරීම මගින් එයට නීත්‍යානුකූලභාවයක් ඇති විය. කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එහි ඉතා පැහැදිලිව සඳහන් විය.

බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ගේ ධෛර්යය සහ බැතිමතුන්ගේද දායකත්වයෙන් මෙහි සංවර්ධන කටයුතු පුළුල් විය. ඒ අනුව වටදාගේ සහ චෛත්‍යයද එක් වූ අතර අද ද කළුතර නගරයේ ප්‍රධාන ආකර්ෂණය එයයි.

ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්කරණ සංගමයේ සභාපති ධුරය පිළිගත් ශ්‍රීමත් සිරිල් ඒ වෙනුවෙන් ද තම පූර්ණ සහාය ලබා දුන්නේය.

තරුණ බෞද්ධ සංගමයේ සභාපති ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගම් ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට ඔහු ක්‍රියා කළේය. එසේම අලුත්ගම කන්දේ විහාරය, පානදුර පින්වත්ත සධර්මාකාර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, කොළඹ 02 හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය සහ කොළඹ 10 කුප්පියාවත්ත ජයසේකරාරාමය ආදිය විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට දායක විය.

එසේම ඔහු ලන්ඩන් බෞද්ධ විහාරය සහ ඉන්දියාවේ සාවස්තියේ ආනන්ද බෝධිය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද එක්විය. මහා බෝධි සංගමය ආදී බෞද්ධ සංගම්වල නිලතල හොබවමින් දිවයින පුරා පිරිවෙන සඳහා විශාල සහයෝගයක් ලබාදීමටද ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ආධාර ලබාදීමටද කටයුතු කළේය.

දහම් පාසල් සිසුන් සඳහා පොත් ලබාදෙමින් දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවීමටද ඔහු තම දායකත්වය ලබා දුන්නේය.

ශාසනික සේවයට අමතර කළුතර නාගොඩ ප්‍රදේශයේ ප්‍රථම වරට මෝටර් රථ බැටරි සමඟ බයිසිකල් ටයර් සහ ටියුබ් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලද්දේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා විසිනි. එම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් ටයර් නැවත පිරවීම, විදුලි කේබල් නිෂ්පාදනය සහ ශීතකරණ නිෂ්පාදනය දක්වා විහිදුනි. කර්මාන්ත ශාලා සහ වෙළෙඳ සංකීර්ණ තුළ රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කළේය. සවුත් වෙස්ටන් බස් සමාගම ලෙස පසුව නම් කරන ලද ස්වර්ණපාලි ‍බස් සමාගම මගින් ද මගීන්ට ප්‍රවාහන පහසුකම් මෙන්ම, රැකියා ලබාදීමට ද ඔහුට හැකි විය. 1957 දී බස් ප්‍රවාහනය ජනසතු කළ විට ශ්‍රීමත් සිරිල්, ඔහුගේ සොහොයුරා වන වී. ටී. ද සොයිසා අමතා දැනුම් දුන්නේ සියලු බස් රථ අලුත්වැඩියා කර ගෙවී ගිය ටයර් වෙනුවට නව ටයර් යොදා රජයට භාර දෙන ලෙසයි. මීට අමතරව ඔහු විසින් තම උපන් ගම වන බලපිටියේ ආරම්භ කරන ලද රෙදි විවීමේ මධ්‍යස්ථානය හරහා ගම්වාසීන් 1500කට පමණ රැකියා අවස්ථා හිමි විය. ශ්‍රීමත් සිරිල් තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වූ අවංක පැය 08 ක සේවය වෙනුවෙන් දිනකට පැය 16 ක් වැඩ කළ අයකු බව ප්‍රකටය.

කළුතර වෙනුවෙන් ඔහු විසින් සිදුකරන ලද අමතක කළ නොහැකි තවත් කර්තව්‍යයක් වනුයේ කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමයි. මේ වන විට කළුතර නගරයේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පාසල් ලෙස පවතින්නේ මේ පාසල් ය. එම පාසල්වල ගෞරවනීය ආදි සිසුන් අද සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළ විශිෂ්ට මෙහෙයන් ඉටුකරමින් සිටී.

එසේම බෝබුවෙල රබර් වතු යායේ පිහිටි ඔහුගේ බංගලාව වැඩිහිටි නිවාසයක් බවට පත් කරන ලද අතර මනාව නඩත්තු කෙරේ.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා සමාජ සේවකයකු ලෙස විවිධ සමිති සංවිධාන තුළ විවිද තනතුරු හා සාමාජිකත්වය හෙබවූයේය. කොළඹ තරුණ බෞද්ධ සංගමය, සමස්ත ලංකා බෞද්ධ කොංග්‍රසය, මහා බෝධි සංගමය, නීති සංගමය, අඳ සහ බිහිරි ජාතික මණ්ඩලය, ළමා ආරක්ෂක සංගමය, ලංකා පිළිකා සංගමය, ක්ෂය රෝගය වැළැක්වීමේ ලංකා ජාතික සංගමය, කළුතර නගර සමාජය, සිංහල ක්‍රීඩා සමාජය, බාලදක්ෂ සංගමය ආදිය ඉන් සමහරකි.

ඔහු සමඟ කටයුතු කළ සියලු දෙනාම ඔහුගේ හැකියාව, දක්ෂතාව සහ නායකත්වය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරයි. මේ ගුණාංග නිසාම ඔහු මේ සංවිධානවල නායකත්වය ලැබීය.

සමාජයීය සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් අතර ඔහු වෘත්තිය නීතිඥවරයෙකි. ඔහු කළුතර දක්ෂ අපරාධ නීතිඥවරයකු ලෙස ප්‍රකටය. වසර නවයක් වැනි දිගු කාලයක් ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ඔහු ඉමහත් මෙහෙයක් සිදු කරනු ලැබීය. කොළඹ අධිකරණ සංකීර්ණය තුළ බොහෝ ගොඩනැඟිලි ඉදිකරනු ලැබුවේ ඔහු නීතිඥ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන කාලයේ දීය.

ශ්‍රීමත් සිරිල් දේශපාලනයේ ක්‍රියාකාරී පුද්ගලයකු නොවුවද ඔහු සෙනෙට් සාමාජිකයකු ලෙස නම් කරන ලද්දේය. ඔහුගේ හැකියාව වෙනුවෙන් සමාජය දක්වන ලද ගෞරව සම්මාන එය විය. ඔහු සැලකිය යුතු කාලයක් සෙනෙට් සභාවේ නියෝජ්‍ය සභාපති සහ සභාපති ලෙස සේවය කළේය. මෙම ලිපිය තුළින් ශ්‍රීමත් සිරිල් විසින් දේශය සහ ජාතිය වෙනුවෙන් සිදු කරන ලද දැවැන්ත මෙහෙවර පිළිබඳ යම් කිසි වැටහීමක් ලබාගත හැකිය.

ඔහු ඉන්දියාවේ උපත ලැබුවේ නම් අනිවාර්යයෙන්ම ඔහු දේවත්වයෙන් සලකනු ඇති අතර ලැබිය යුතු සියලු ගරු බුහුමන් ද ප්‍රශංසා ද හිමිකර ගනු ඇත. ඔහු විසින් ගන්නා ලද වෑයම සාර්ථක ලෙස අනුගමනය කරන බව සහ ඔහුගේ අපේක්ෂාව පරිදි ඵල දරා ඇති බව සඳහන් කිරීම සතුටකි.

කරු ජයසුරිය කතානායක 

තවත් ලිපි

https://m.facebook.com/wadagathlipi/?__tn__=C-R

https://balawegaya.wordpress.com/2012/10/25/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82/

හෙලන් විල්සන් මූඩි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියෙන් 

https://en.m.wikipedia.org/wiki/Helen_Wills


Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s